Tuesday, September 14, 2010

කවුරු කවුරුද හොරු....?


මේ මීට අවුරුදු හතරකට විතර උඩදි මගෙ තාත්තගෙ හිතවතෙකුට ( මමත් අඳුනනව ඒ අයියව ) සිද්ද වුන සිදුවීමක්.මේ කතාව මට කීවෙ මගෙ තාත්ත. ස්ථානය තමයි කොටුවෙ බෝ ගහ ලඟ. බෝ ගහ ලඟ ඉඳල කොටුව දුම්රිය පොල පැත්තට ( ඕල්කොට් මාවත ) පේව්මන්ට් එක දිගේ ගුණසේන පොත් සාප්පුව ඇති පැත්තෙන් පයින් ඇවිදගෙන යනකොට ඔරලෝසු විකුණන තැන් කීපයක් තිබුන සමහර විට මතක ඇති. 2008 අගෝස්තු 30 වෙනිද බෝම්බයක් පුපුරාපු ( අවශ්‍යනම් මෙන්න ඒ විස්තරේ ) ඔය ඉහත ඡායාරූපයේ තියෙන,බෝ ගහ පෙනෙන මානයේ තිබුන ඔරලෝසු ලෑල්ල හුඟ දෙනෙකුට අමතක වෙන්න විදිහක් නම් නැහැ.ඔන්න සිද්ධිය උන තැන. සෙනඟ ටිකක් අඩු දවසක් එදා. වෙලාව උදේ 10.00 ට විතර ඇති. ඒත් ඔය ඔරලෝසු ලෑල්ල නිසාම එතන පේව්මන්ට් එකේ තියෙන පටු ඉඩකඩ ගාව සෙනඟ එක් රැස් වෙනව.
අපේ හිතවතත් මොකක්දෝ වැඩකට කොළඹ ආපු ගමන්. ඔය ඔරලෝසු ලෑල්ල ගාවින් යන ගමන් ඔතන තිබුන පුංචි තදබදය නිසාම චුට්ටකට නැවතිලා ඔරලෝසු ලෑල්ල දිහාවට එබුන.
සෙනඟ අතරින් කළු, මිටි, වයස 40ක විතර, පොරක් එක පාරටම අපේ හිතවතාගෙ දිහාවට කඩාගෙන පැන්න. ඒ නිකම්ම නෙමෙයි. වම් ඇහැටත් හොදට දැනෙන්න වම් කන පුරෝල කම්මුල් පහරක් දෙන ගමන්. ඒත් එක්කලම අර කොට පොර, අපේ මෑන්ව බිම පෙරල ගත්ත.සෙනඟ ටික දෙනෙක් එක් රොක් වෙන එක ඉතින් සිරි ලංකාවෙ අනිවාර්යයෙන් වෙන දෙයක්නෙ. "ඇයි මේ මට ගන්නෙ....?" කියල අහන්නත් ඉස්සර බෝ ගහ ලඟ හිටපු පොලිස් රාළහාමිල දෙන්නෙකුත් එතනට ආව.
"මේක ලෑල්ලෙන් එකක් ඉස්සුව සර්........"
එහෙම කියාගෙනම කළු කොට මෑන් අපේ මෑන්ගෙ කලිසමේ සාක්කුවකට අත දාල වටින කියන ඔරලෝසුවක් සාක්කුවෙන් එලියට අරගෙන..... ඒ ඔරලෝසුව තමන්ගෙ සාක්කුවට දැම්මෙ, කනේ පාර දීල බිම දාගත්ත වෙලාවෙ අර කළු කොට මෑන්ම තමයි කියල අපේ මෑන්ට තේරුනත් පොලිසියෙ රාලහාමිල ඉස්සරහ මේ වෙනදේ කොහොම තේරුම් කරන්නද කියල අපේ මෑන්ට වැටහීමක් නැතුව ගිහින්. අනික දීපු කනේ පාරත් උන් හිටි තැන් අමතකවෙන්නම වැදිල.
"මම ඔරලෝසුව ගත්තෙ නැහැ, මගෙ කනට ගහන ගහල බිම පෙරලගන්න වෙලාවෙ තමයි මගෙ කලිසමේ සාක්කුවට ඔය ඔරලෝසුව දැම්මෙ" කියල අර පොලිසියෙ රාළහාමිලට පුලුවන් හැම විදිහටම තේරුම් කරල දුන්නත් පොලිසියෙ රාළහාමිල දෙන්න ඒක පිලිඅරගෙනම නැහැ.
"එක්කෝ පොලිසි යමු, එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට කීයක් හරි දීල මේක ගොඩින් බේර ගන්න" පොලිස් රාළහාමිල දෙන්නගෙම පිළිතුර ඒක. පොලිස් රාළහාමිල දෙන්නගෙ හැසිරීමෙන් මේ "ඔරලෝසු සහ කලිසම් සාක්කු" සෙල්ලම ඒ අය දන්න සෙල්ලමක් කියල සැක හිතුන නිසාම ඒ අයගෙ නිල ඇඳුමෙ තියෙන අංකයන් දිහා බැලුවත් ඒවා පපුවට තද උන ලොකු ඩයරි වලින් වැහිල.
පොඩි හරි සහනයක් බලාපොරොත්තුවෙන් අතේ තිබුන ජංගම දුරකතනයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කතා කලත් පිළිතුර උනේ "පොලිසියෙ දෙන්නෙක් ඉන්නවනම් ඒ අය එක්ක පොලිසියට ගිහින් විසඳා ගන්න" කියලයි.
ඒකෙන් වෙන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනවාටත් වඩා වැඩි දෙයක් කියල අපේ මෑන් තේරුම් අරගෙන ඉවරයි ඒ වෙනකොටත්.
රාළහාමිල දෙන්න කතා කරල තියෙන්නෙම අර ඔරලෝසු වෙලෙන්දන්ගෙ පැත්තට. අන්තිමට කොහොම හරි ගෙදර එන්න රුපියල් පනහක් තියාගෙන පර්ස් එකම හූරල හූරල රුපියල් හත්සිය ගානක් අර කළු මිටි පොරට දීල. අන්තිමට අපේ මෑන් එතනින් පිටත් වෙලා ගෙදර එන්න පිටත් උනා.
"හවස් වෙලා ගෙදර එනකොටත් කන හෝ.... ගානව. ඒ මදිවට මූනෙ වම් පැත්ත ඉදිමිලා තිබුන. වම් ඇහැත් රතු වෙලා තිබුන"මේ සිද්ධියෙ අවසන් ප්‍රතිඵලය ගැන අපේ තාත්තට කියල තිබුනෙ එහෙම.
පේව්මන්ට් එකේ හෝ වේවා වෙන කොහෙදි හෝ වේවා ජඩ වැඩ වෙනව තමයි. ඒව නවත්තන්නත් ඔන තමයි. ඒත් ඒවට පොලිස් නිලධාරීනුත් සම්බන්ධනම්..........
වැදගත් -
( යහපත් කල් ක්‍රියාවෙන් අවංකව රටට ජනතාවට සේවය කරන පොලිස් නිලධාරී මහතුනි, මේ චෝදනාව ඔබට නොවේ.)

Wednesday, September 1, 2010

තනි වූ ඇය සහ තනි වූ අය ......


ඒ අම්ම දුක හංගාගෙන සතුටින් හිටියෙ. ඒක මේ හැමෝටම පොදු දෙයක්. හැමදාම එයා උදෙන්ම ඇහැරෙනව. එයාගෙ කාමරේ ඉදල එලියට ඇවිත් මේ කොරිඩෝව දිගේ ඇවිදගෙන ගිහින් එළියට බහිනව. ඊට පස්සෙ හිමි හිමිහිට යනව මීටර් තිහක් හතලිහක් විතර ඈතින් තියෙන ගේට්ටුව ගාවට. ඒ ගිහින් එතන තියෙන මල් පඳුරු අතර සක්මන් කර කර ඉන්නව. ඒ ඉන්න ගමන් පාර දිහා සැරින් සැරේ එබි එබී බලනව. එයා හොඳට අඳුනනව ගේට්ටුව ගාවින් හැමදාම උදේට යන සුදු පාට කාර් එක. එයා ඒ සුදු පාට කාර් එක ඈත තියා දකිනකොට ටිකක් කලබල වෙනව. ඉක්මනට අර මල් පඳුරු වලට මුවා වෙලා ගේට්ටුව පහු කරගෙන යන කාර් එක දිහා බලාගෙන ඉන්නව. ඊට පස්සෙ එතන තියෙන, ඒ තරම් උස නැති ගල් බැම්ම උඩ වාඩි වෙලා ටික වෙලාවක් කල්පනා කර කර ඉන්නව. එහෙම ඉදල ආපහු තමන්ගෙ කාමරයට යනව.
හවසටත් එක වෙලාවක් තියෙනව මේ විදිහට ගේට්ටුව ගාවට යන. ඒ තමයි උදේ ගිය කාර් එක ආපහු අනිත් පැත්තට යන වෙලාව.....
මෙයත් එක්ක ඉන්න අනිත් අය වගේම මමත් මේ සිද්ධිය දැකල තියෙනව. අපි කවුරු හරි මේ අම්මගෙන් "අර සුදුපාට කාර් එක" ගැන ඇහුවහම සුන්දර හිනාවකින් පිළිතුරු දෙනව ඇරෙන්න වෙන කිසි දෙයක් කියන්නෙ නැහැ. මේ අම්ම මීට සති දෙකකට විතර උඩදි අන්ත්‍රා උනා. එයාගෙ අවසන් කටයුතු රජයේ වියදමින් කලා.
ටික දවසකින් අපිට ආරංචි උනා මේ සුදු පාට කාර් එකේ යන්නෙ රජයේ වෛද්‍ය වරයෙක් කියල.ඒ අර මියගිය අම්මගෙ එකම පුතා.... මරණය කියන එක මේ අයට ගොඩාක් දුක හිතෙන දෙයක් නෙමෙයි. එයාල මෙතන ඉන්න ටික කාලෙට මරණ කීයක්නම් දකිනවද...............

මේ කතාව අපිට කිවුවෙ මීරිගම තවලම්පිටිය රජයේ වැඩිහිටි නිවාසයේ පාලනාධිකාරී තුමා. දිනය 2008 වෙසක් පොහොයට පසුදා. අපි මේ වැඩිහිටි නිවාසයට ගියා. අපි කිවුවෙ අපේ ගමේ කොල්ලො ටික. අපේ ගමේ කොල්ලො කට්ටියගෙම සංවිධානයෙන් (බොහෝ සම්බන්ධීකරන කටයුතු ආසිරි මල්ලි විසින් ඉටු කලේ) ගමේ හැමෝගෙම උදවුවෙන් අපි මේ වැඩිහිටි නිවාසෙට වසරක් පාසා දහවල් කෑම වේලක් පිරිනමනව. හවසට ස්වාමීන් වහන්සෙ කෙනෙක් වැඩම කරවීමෙන් පුංචි ධර්ම දේශණාවකුත් පවත්වනව. පුංචි තුවාල වලට බෙහෙත් දාන්න ඕන කරන බෙහෙත් වර්ග, වේදනා නාශක පෙති සහ බාම් වර්ගත් අපි අරගෙන ගියෙ.
මේ අයට කෑම වේලටත් වඩා වටින්නෙ අපේ පැමිනීම නේද කියල ඒ අයගෙ කතා බහෙන් වගේම වැහැරී ගිය මුහුණු වල ඇඳුන අව්‍යාජ සිනහවෙන් අපි හැමෝට තේරුනා. අපේ දෙමව්පියන්, ගමේ වැඩිහිටියො, අපේ පුංචි ගමේ කඩමංඩියෙ තියෙන කඩ කිහිපයක ව්‍යාපාරිකයො වගේම වාහන සැපයීමෙන් වාහන අයිති කිහිප දෙනෙකුත් අපට ලොකු සහයක් දුන්න. ගමේ හුඟ දෙනෙක් එදාට මේ වැඩිහිටි නිවාසයට යනව. මේ වසරෙත් පොසොන් පෝයට මේ කටයුත්ත සිදු කෙරුන. (මම 2008 අග භාගයේ විදේශගත උනා. ඉතින් මට 2008න් පස්සෙ මේ කටයුත්තට සහභාගි වෙන්න බැරි උනා.) එතන වැඩිහිටියන් වගේම මන්ද මානසික අයත් ඉන්නව. ඔක්කොම 350ක් විතර.

ඇත්තටම මේ කටයුත්ත හිතන තරම් අමාරු නැහැ. අවශ්‍ය වෙන්නෙ හැමෝගෙම එකමුතුව විතරයි. ගෙදරකින් එක ව්‍යයාංජනය ගානෙ හදල ලොකුවට බතක් උයා ගත්ත. කලින් දවසෙ රාත්‍රියෙ පටන්ගත්ත ෆුඩ් සැලඩ් එකේ වැඩෙත් කොල්ලො කෙල්ලො හැමෝගෙම සහයෙන් කෙරුන. වැඩේ බොහොම අපූරුවට සිද්ධ උනා.

මේ තරම්ම කට්ටිය නැතත් පුංචි පුංචි වැඩිහිටි නිවාස රට පුරාම තියෙනව. මේවායින් සමහරක් නඩත්තුවට රජයෙන් වගේම නොයෙක් සංවිධාන වලින් මුදල් ලැබෙන බව ඇත්තයි. ඒත් ඒ මුදල් සම්පූර්ණයෙන්ම වැඩිහිටියන්ගේ නඩත්තුවටම යනවද කියන එක සැකයි.
අනික මුදල්, කෑම බීම, ඉන්න හිටින්න සුව පහසු තැනක් ලැබුනාටම නොලැබෙන දෙයක් අපිට එක දවසකට හරි ඒ අයට දෙන්න පුලුවන්. අපි දුන්නෙ එක දවසකට උනාට පුලු පුලුවන් හැමෝම මේ විදිහට සංවිධානය වෙනවනම් වසරකට දවස් ගනනාවක් ඒ අයට අපේ ඇසුර, ආදරය, කරුණාව හිමි වේවි. ඒ අය මොහොතකට හරි සතුටින් හිඳීවි.

අපි කොයි තරම් දේවල් අපේ සතුට වෙනුවෙන් සංවිධානය වෙලා කරනවද.......
උත්සාහ කලොත් බැරි නැහැ මෙහෙම වැඩ කටයුත්තක් සාර්ථක කරගන්න. මම මුලින්ම ලියල තියෙන ඒ අම්මගෙ කතාව වගේ තව කතා සිය දහස් ගනනක් ඇති අපි අහලම නැති..........

යන්න....... අහන්න ඒ අයගෙ කතාවත්........
අහලම බලන්න කොයි තරම් දුක්මුසු තැන් තියෙනවද කියල.......

ලිපියේ ඉහලින්ම තියෙන ඡායාරූපයත් සමඟ ලිපියේ පහලින් තියෙන්නෙ 2008-05-18 දින මගේ කැමරාවේ සටහන් උන, මම සහ මගේ යාළුවන් විසින් ගන්නා ලද ඡායාරූප කිහිපයක්.






Related Posts with Thumbnails