Saturday, October 23, 2010

පොලිෂ් නොවුනු පොලිස්

කිසිම විදිහකින් මගෙ අදහසක් නැහැ පොලිසියෙ සේවය කරන ගුණ යහපත්, රටට සේවය කරන අයට අගෞරව කරන්න. මේ කියන්න යන සිදුවීම් දිහා බලපුහාම හොඳට තේරෙන දෙයක් තමයි සාමාන්‍ය මිනිසුන් කරන වැරදි නිසයි පොලිස් නිලදරුවන් මේ තත්වෙට වැටිල තියෙන්නෙ. විශේෂයෙන් ට්‍රැෆික් පොලිසිය. ලංකාවෙ රියදුරන් අති අවිනීතයි. ඒක තමයි පැහැදිලි ඇත්ත.
කතා ටික රසවත්ද කියන්න මට තේරෙන්නෙ නැහැ. රටකට ගිය කල කියල හිතෙන කොට ගොඩාක් දුකයි.
මම වසර කිහිපයකට කලින් වැඩ කරපු ආයතයේ සමහර කාල වලට වැඩ වැඩි වෙනව.ඉතින් පාන්දර ඔෆීසියට එන්න ඕන වගේම සමහර දවස් වලට එදා දවසට කරන්න තියෙන වැඩ ටික ඉවර වෙනකොට හොඳටම රෑ වෙනව.එහෙම කාල වලට ප්‍රවාහන පහසුකම් ඉතින් ඔෆීසිය ගානෙ.ඔෆීසියෙම ඉන්න අයිය කෙනෙක්ගෙ වෑන් එකක් තියෙනව හයර් එකට ඔෆීසියට ගන්න. වෑන් එක අයිති අයිය වගේම එලවන හාදයත් ලෝකෝත්තරයො කියුවොත් වැරදි නැහැ. දෙන්නම මගෙත් හොඳ යාලුවො තමයි. ඒත් ලඟින් ගියොත් ඇහැක් නැහැ. (නරකක් කරන අය නෙමෙයි. මඩ කප්පිත්තො. මොකක් හරි අංචියක් ඇදල මඩක් ගහන්න උපන් ගෙයි හපන්නු.)

අපේ ඔෆීසිය තිබුනෙ කොළඹ යුනියන් පෙදෙසෙ. ඔන්න එදා අපි ටිකක් පාන්දර වැඩට ඇවිත් හවස හය විතර වෙනකොට කරන්න තිබුන වැඩ ඉවර වෙලා වෑන් එකේ නැගල ගෙදර එන්න පිටත් උනා. මීට අවුරුදු හතරකට පහකට කලින් මතකයිනෙ කොටි කලබල නිසා කොළඹ අඩියෙන් අඩිය පොලිස් බැරියර් තිබුන හැටි. ඔන්න මරදානෙදි ඇල්ලුව වෑන් එකට STOP බෝඩ් එක.
ඔක්කොම පොලිස් රාලහාමිල දහයක් විතර හිටිය එතන. සිග්නල්,හෙඩ්, ඩිම් ලයිට් චෙක් කලා වැඩද බලන්න.මට මතක විදිහට හෙඩ් ලියිට් දෙකෙන් එකක් වැඩ නැහැ. අපිත් ඉතින් එතන හිටිය අයට කියල කියල හරි අමාරුවෙන් දඩයක් නොකා බේරෙන්නයි ට්‍රයි කලේ. කොහොම හරි අවවාද ගොඩාක් මැද, හෙඩ් ලයිට් එකක් නොමැති වීමෙන් අපට ඇති වෙන අවදානම ගැන කරුණු පහදා දීමකින් අනතුරුව අපට නිදහස ලැබුන. ටික දුරක් වෑන් එක ඉස්සරහට යන ගමන් අපේ මෑන් මෙන්න මෙහෙම කියනව.
" ඔය කියෝල කියෝල යන්න දුන්නට අනිත් පොලිස් බැරියර් වලටත් මේ වෙනකොටත් මැසේජ් එකක් ගහල ඇති ඔන්න කෑමක් එනවා කියල. මම කාල තියෙනව ඔය ලණුව එක සැරේකුත්." පේනව නේද තනියෙන් නෙමෙයි, බෙදා හදාගෙන කන්නෙ මේ අය. ඒ දේවල් වලට තියෙන සමගිය......

මේ කතාවත් ඔෆිස් ඇරිල, අපි කෂ්ටිය ඔය වෑන් එකෙන්ම ගෙදර එන ගමන් උන දෙයක්. අපි කොළඹින් පිටත් වෙලා නිට්ටඹුව පැත්තට එනව ඔන්න. මතක විදිහට පෑලියගොඩ පහු උනා විතරයි. ඇල්ලුව පොලිසියෙන්. වංගු වලදි ඔය කාපට් පාරෙ ඇඳල තියෙනවනෙ ඉරි දෙකක්. ඔක කැපිල යන විදිහට වාහනයක් එලවනව කියන්නෙ ලඟ පාත ඉන්න පොලිස් රාළහාමිලාගෙ අත මිට සරු කරනව කියන එක. ඔන්න අපේ රියදුරු මහත්තයත් බැහැල ගියා. ටික වෙලාවක් ගියා. මිනිහ එන පාටක් නැහැ. අපිත් නිකමට වගේ වාහනෙන් බැහැල ගියා ඒ පැත්තට. අපි මීටර් කීපයක් ඈතින් ඉඳගෙන මොකෝ මේ වෙන්න යන්නෙ කියල බලාගෙන හිටිය. ඔන්න ටික වෙලාවකට පස්සෙ එනව අපේ රියදුරු මහත්තයත්. අපිත් ගිහින් වෑන් එකට නැග්ග.
"ඔයාල එතනට ඇවිත් වැඩේ කෑවනෙ. මිනිහට මන් සල්ලි දීල බේරෙන්න හදන කොට ඔයාල අවායින් වැඩේ ගැස්සුනානෙ. "යාලුවො ටික වැඩේ කෑව නේද?" කියල මිනිහ මගෙන් ඇහුව."
මෙන්න මෙහෙම අපේ රියදුරු මහත්තය අපිට දෝස්මුරේ තියන්න ගත්ත.

මේ කියන්න යන්නෙත් තවත් එක සිදු වීමක්. මේ සිද්දිය වෙලා තියෙන්නෙ මුල් කතාවෙ මෑන්ටම තමයි.
ලංකාවෙ හොඳට පාර කාපට් කරල් තියෙන පාගල යන්න පුලුවන්, එක කෙලින් පාර තියෙන තැන් තියෙනවනෙ. ඔන්න ඔය තැන් වලට එනව ට්‍රැෆික් පොලිසියෙන්. ඔය රාළහාමිල දෙතුන් දෙනෙක් සෙට් වෙලා ඇවිදින් මොකක් හරි එකකට මුවා වෙලා වේගෙන් එන වාහන වලට අල්ලනව අර වේගමානය. ඕකෙ සටහන් වෙන වේගෙ හැට පැන්නොත් බඩුම තමයි.
ඔන්න අපේ වෑන් එක එලවන හාදය දවසක් කොහේදෝ යද්දි පොලිසියෙන් අල්ලල. හේතුව "වේගෙ වැඩියි". ඔන්න අපේ හාදයත් ආපු වේගෙට අර ට්‍රෆික් පොලිස් රාළහාමිල පහු කරගෙන මීටර් විසි පහක් විතර දුර ගිහින් වෑන් එක නවත්තල. සාමාන්‍යයෙන් ඔය වගේ වෙලාවට පර්ස් එකේ සල්ලි වෑන් එක ඇතුලෙ කොහාට හරි දාල තමයි මෑන් වෑන් එකෙන් බහින්නෙ. එදත් වෑන් එක නවත්තල වෑන් එකෙන් බහින ඇහිල්ලට පර්ස් එකේ තිබුන සල්ලි වෑන් එක ඇතුලෙම හංගල තමයි මෑන් වෑන් එකෙන් බැහැල තියෙන්නෙ. ඔන්න ලයිසන්, ඉන්ෂූවරන්ස් එහෙම අරගෙන අර රාළහාමිල ලඟට ගිහින්. දැන් දඩයක් ලියන්නයි ලෑස්තිය. අපේ මෑන් දන්න කියන සෙල්ලම් දාල නාහෙන් අඬල දඩේ ලියන්න දෙන්නෙ නැතුව. ඒත් ලියන්න හැදුවට නොලිය ඉන්නමයි රාළහාමිලගෙත් උත්ත්සහය කියල තේරිලා අපේ මෑන්ටත්. අපේ මෑනුත් ලියන්න එපා කියල දුක කියන ගමන් සමහර වෙලාවට අත් දෙක එකතු කරල වැඳ වැඳ නාහෙන් අඬනව මිසක් කීයක් හරි දීල බේරෙන්න පොඩි උත්සාහයක්වත් අරන් නැහැ. ( මිනිහ මහ පාර මැද දන ගහල උනත් වඳී. ඉපදිලා ටිකදවසකින් ලැජ්ජ නහරෙ කපාපු පොරක්.....) අන්තිමට අර රාලහාමිලටම මේ කරච්චලේ එපාවෙලා "අපිට සලකනවනම් අපිත් සලකනව" කියල කියල. ඔන්න ඊට පස්සෙ අපේ මෑන් පර්ස් එක එහෙම එලියට අරගෙන අර රාළහාමිලට පේන්නම ඇදල ඇදල පර්ස් එකේ මුල්ලක ගුලි වෙලා තිබුන රුපියල් දහයෙ නෝට්ටු දෙකක් ඒ කියන්නෙ රුපියල් විස්සක් එලියට අරගෙන නාහෙන් අඬන ගමන් රළහාමි කෙනෙක්ට දික් කොරල "මෙච්චරමයි අත සන්තකටම තියෙන්නෙ" කියන ගමන්.
"කියන්න අප්පිරියයි බං මූ ඒක ගත්තනෙ. අරගෙන මට කියනව මම උඹෙන් මේ රුපියල් විස්ස අරගෙන උඹට යන්න දෙනවට මට කනට එකකුත් ගහල පලයන් කියල." අපේ මෑන් කතාව ඉවර කලේ ඔන්න ඔහොම කියන ගමන්.

Monday, October 4, 2010

එක් මවක්........

මට වයස අවුරුදු එක හමාර වෙනකොට මට තවත් සොහොයුරෙක් එකතු වෙනව. ඒත් අම්මයි තාත්තයි දෙදෙනාම රැකියාවට යෑම නිසා, මගේ මල්ලීව තාත්තාගේ නැගණියගේ උදවුවෙන් ඒ නිවසේ ඇති දැඩි වෙන කොට මම හදාවඩා ගැනීමේ වගකීම මගෙ අම්මගෙන් ඇයගේ නැගණියයි, අම්මයි තාත්තයි, ඒ කියන්නෙ මගෙ පුංචියි, සීයයි, ආච්චියි ලබාගෙන. මවගේ මහගෙදර ඉදල කිලෝමීටරයක් විතර දුරින් තමයි පියාගේ මහගෙදර තියෙන්නෙ. ඉතින් මම අවුරුදු එක හමාරෙ ඉදල මගෙ ආච්චියි සීයයි පුංචියි ලඟ තමයි හැදුනෙ වැඩුනෙ. මගේ මව රැකියාවට පිටත්ව යන කොට වගේම රැකියාවට ගොස් එන ගමන් හැමදාම ඇයගේ මහ ගෙදරට ගොඩ වැදී මං ගැන හොයල බලල තමයි යන්නෙ. මාව මේ ලෝකයට බිහි කල අම්මා මට ආදරෙයි ගොඩාක්. ඇය ගැන, ඇයගේ සෙනෙහස ගැන, ඇය අප වෙනුවෙන් ජීවිතයේ කල කැප කිරීම් ගැන වෙනමම කතාකලයුතු දේවල් එමටයි. මගෙ අනිත් අම්ම චූටි අම්ම. ඒ කියන්නෙ මගෙ අම්මගෙ නැගණිය. ඒ අම්ම මට අවුරුදු එක හමාරෙ ඉඳන් මං වෙනුවෙන් කල කැපකිරීම නිසයි මං අද මේ තත්ත්වයෙන් ඉන්නෙ. එයා ගැනත් වෙනමම ලිවිය යුතුමයි.
මේ කතාව කියල ඉවර වෙනකොට මම ගැන මොන විදිහට හිතයිද කියල මම දන්නෙ නැහැ. ඒත් මගෙ හිතට එකඟවයි මම මේ ලියන්නෙ. දරුවෙකුට මේ ලෝකයෙ වැඩිම ආදරයක් විඳින්න ලැබෙන්නෙ අම්මගෙන්. අම්ම සහ චූටි අම්ම් ගැන මම කිවුවනෙ මුලින්ම. මට අම්මල තුන්දෙනෙක් හිටිය. මේ කියන්න යන්නෙ මට තේරෙන විදිහට, මට දැනුන විදිහට මට වැඩියෙන්ම ආදරය කල අම්ම ගැනයි. ඒ මගෙ සුදු අම්ම. මගෙ මවගේ මව. ඇය ඇත්තටම සුදුයි, පියකරුයි. අදට අවුරුදු 14ක් ඇය අපි අතරින් ඈත් වෙලා ගිහින්. කිසිම දවසක මම ඇයට ආච්චි කියල අමතල නැහැ. මට එහෙම හැඟීමක් දැනිලත් නැහැ. සුදු අම්මට පහු කාලයකදි අම්ම කියලම අමතන්න පුරුදු උනේ ඇයගෙන් මං ලබාපු මවු සෙනෙහස නිසාම වෙන්න ඇති. මාව මේ ලෝකයට බිහි කල අම්ම ගෙදර ඉන්න වෙලාවට විතරක් ඇයට සුදු අම්ම කියල කියන්න මම පුරුදු උනා. ඒ දවස වල සමහර වෙලාවට මම "අම්මෙ" කිවුවහම අම්ම, චූටි අම්ම, සුදු අම්ම තුන් දෙනාම තරෙඟෙට වගේ "ඇයි...." කියන්නෙ.
ඒත් මට එදාටත් වඩා අදට දැනෙන විදිහට සුදු අම්මාගෙ සෙනෙහස සුවිශේෂියි. සුදු අම්මගෙ චරිතයත් සුවිශේෂියි. ඇය කිසිවෙකුට කිසිම ආකාරයකින් කරදරයක් උනේ නැහැ. කාගෙවත් ඕපාදූප හොයන්න ගියෙත් නැහැ. ඇයගේ ජීවිත කාලය තුල කිසිම කෙනෙකුගෙ හිත රිදෙන විදිහට කිසිම දෙයක් කියල නැතුව ඇති. මගෙ සීයට ( මම ඇමතුවෙ "අත්ත" කියල ) ඇය පුදුම සෙනෙහසකින් ඉඳල තියෙනව.ඒ අයගෙ ආදර කතාව මට කිවුවෙත් චූටි අම්ම.
බොහෝ කලකට පෙර බිම ඇද වැටීම නිසා ඇති වූ කොඳු ඇට පෙලේ ආබාධයක් නිසා ඇය නිවසින් පිට ගියෙ ඉතා කලාතුරකින්. ඒ ආබාධයට ඩොක්ටර්ස්ල පලදින්නට නියම කල බෙල්ට් එක නිදන කොට්ටය යට තබාගෙන සිටීම නිසා අපි ඇයට විහිළුත් කලා, "කොට්ටෙ යට තියාගෙන හිටියහම කොන්දෙ අමාරුකම් හොඳ වෙයි" කියල. සුන්දර හිනාවක් ඇරෙන්න ඇය මුකුත්ම කියන්නෙ නැහැ ඒ වෙලාවට.
ගමේ හැමෝම ඇයව ඇමතුවෙ නෝන කියල. සුදු අම්ම ඉස්සර මං ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකම් මග බලාගෙන් ඉන්නව. ගෙදර ආ හැටිය "බඩගිනියිද" කියල අහන්නෙ. මුකුත්ම නොතිබුන දවසට බතක් උයල, සම්බෝලයක් හදල කරෝල කෑල්ලක් ගිණිඅළු පල්ලෙ දාල පුච්චල අරගෙන දෙහි ටිකක් දාල දෙනව මට. මෙන්න මගෙ ආසම කෑම වේල අදටත්. මෑතකදි උනත් ඔය කෑම වේල කනකොට "උඹට ඕව පුරුදු කලේ සුදු අම්ම තමයි" කියලයි ගෙදර හැමෝම කියන්නෙ. පාඩම් කරන්න පාන්දර ඇහැරවන්න කිවුවහම පාන්දරට ඇඳ ලඟට ඇවිත් මන් නැගිටිනකම් ඔළුව අත ගගා "පුතේ නැඟිටින්න, පුතේ නැඟිටින්න" කියල කියෝනව. ඉතින් තවත් සැපට නින්ද යනව. මාව එකපාර අහැරවන්න ඇයට ඒ තරම් දුකයි. විහිලුවක් කලාම ඇයගෙ සුදුම සුදු පාට බොරු දත් කුට්ටම පෙන්නල හිනා වෙනව. මට අසනීපයක් හැදුනත් වැඩියෙන්ම කලබල වෙන්නෙ ඇය. ගෙදරට ගේන ඕනෑම් දෙයකින් මගෙ කොටස වගේම ඇයගෙ කොටසත් මං වෙනුවෙන් වෙනමම වෙන් කරගන්නව ඇය. ඊට පස්සෙ දවස ගානෙ මට ටික ටික දෙන්නෙ. ඒ කියන්නෙ අද ඔක්කොම දුන්නොත් හෙට දෙන්න දෙයක් නැති වෙන නිසා තවත් ඉල්ලුවොත් "නැහැ" කියන උත්තරේ තමයි ලැබෙන්නෙ ඇයගෙන්.
ඔළුවේ නහරයක් පිපිරීමෙන් අසනීප වෙලා රෝහල් ගතකිරීමෙන් පසුව සිහි විසඥ උන ඇය 1996 ඔක්තෝම්බර් මස 04 වෙනිද අපෙන් සදහටම සමු ගත්ත. ඒ මරණයේ වේදනාව අපට තදින් දැනුන නිසාම ඇයගේ ඇඳුම් අල්මාරියවත් ඇරියෙ නැහැ සෑහෙන දවසක් යනකම්. ඒක අස්පස් කරන දවසෙ මම වෙනුවෙන් සඟවල තියාගත්තු කෙසෙල් ගෙඩි, බිස්කට් හම්බ උනා.අදටත් සුදු අම්ම ගැන අම්ම එක්කවත් චූටි අම්ම එක්කවත් වැඩිපුර කතා කරන්න නොයන්නෙ ඒ අය ඔය හැමදේම මතක් කරකර අඬන්න ගන්න නිසා.
උතුම් මනුෂ්‍ය ගුනාංග වලින් යුත් ගැහැණුන් අතර මගේ සුදු අම්ම රැජිනක්. ඇය නිවනට ඉක්මනින්ම ලඟා වේවි. ඒත් එයට පෙර සසරේ එක් වරක් හෝ මගේම මව වෙන්න කියල මම පතනව.

මේ ඉන්නෙ අත්තයි සුදු අම්මයි.





මේ සුදු අම්මගෙ තවත් ෆොටෝ එකක්. මේ මිටි කොලු පැටිය මම තමයි. අනිත් දෙන්න නංගියි මල්ලියි.
Related Posts with Thumbnails