Showing posts with label මෙහෙවු රටේ. Show all posts
Showing posts with label මෙහෙවු රටේ. Show all posts

Tuesday, September 14, 2010

කවුරු කවුරුද හොරු....?


මේ මීට අවුරුදු හතරකට විතර උඩදි මගෙ තාත්තගෙ හිතවතෙකුට ( මමත් අඳුනනව ඒ අයියව ) සිද්ද වුන සිදුවීමක්.මේ කතාව මට කීවෙ මගෙ තාත්ත. ස්ථානය තමයි කොටුවෙ බෝ ගහ ලඟ. බෝ ගහ ලඟ ඉඳල කොටුව දුම්රිය පොල පැත්තට ( ඕල්කොට් මාවත ) පේව්මන්ට් එක දිගේ ගුණසේන පොත් සාප්පුව ඇති පැත්තෙන් පයින් ඇවිදගෙන යනකොට ඔරලෝසු විකුණන තැන් කීපයක් තිබුන සමහර විට මතක ඇති. 2008 අගෝස්තු 30 වෙනිද බෝම්බයක් පුපුරාපු ( අවශ්‍යනම් මෙන්න ඒ විස්තරේ ) ඔය ඉහත ඡායාරූපයේ තියෙන,බෝ ගහ පෙනෙන මානයේ තිබුන ඔරලෝසු ලෑල්ල හුඟ දෙනෙකුට අමතක වෙන්න විදිහක් නම් නැහැ.ඔන්න සිද්ධිය උන තැන. සෙනඟ ටිකක් අඩු දවසක් එදා. වෙලාව උදේ 10.00 ට විතර ඇති. ඒත් ඔය ඔරලෝසු ලෑල්ල නිසාම එතන පේව්මන්ට් එකේ තියෙන පටු ඉඩකඩ ගාව සෙනඟ එක් රැස් වෙනව.
අපේ හිතවතත් මොකක්දෝ වැඩකට කොළඹ ආපු ගමන්. ඔය ඔරලෝසු ලෑල්ල ගාවින් යන ගමන් ඔතන තිබුන පුංචි තදබදය නිසාම චුට්ටකට නැවතිලා ඔරලෝසු ලෑල්ල දිහාවට එබුන.
සෙනඟ අතරින් කළු, මිටි, වයස 40ක විතර, පොරක් එක පාරටම අපේ හිතවතාගෙ දිහාවට කඩාගෙන පැන්න. ඒ නිකම්ම නෙමෙයි. වම් ඇහැටත් හොදට දැනෙන්න වම් කන පුරෝල කම්මුල් පහරක් දෙන ගමන්. ඒත් එක්කලම අර කොට පොර, අපේ මෑන්ව බිම පෙරල ගත්ත.සෙනඟ ටික දෙනෙක් එක් රොක් වෙන එක ඉතින් සිරි ලංකාවෙ අනිවාර්යයෙන් වෙන දෙයක්නෙ. "ඇයි මේ මට ගන්නෙ....?" කියල අහන්නත් ඉස්සර බෝ ගහ ලඟ හිටපු පොලිස් රාළහාමිල දෙන්නෙකුත් එතනට ආව.
"මේක ලෑල්ලෙන් එකක් ඉස්සුව සර්........"
එහෙම කියාගෙනම කළු කොට මෑන් අපේ මෑන්ගෙ කලිසමේ සාක්කුවකට අත දාල වටින කියන ඔරලෝසුවක් සාක්කුවෙන් එලියට අරගෙන..... ඒ ඔරලෝසුව තමන්ගෙ සාක්කුවට දැම්මෙ, කනේ පාර දීල බිම දාගත්ත වෙලාවෙ අර කළු කොට මෑන්ම තමයි කියල අපේ මෑන්ට තේරුනත් පොලිසියෙ රාලහාමිල ඉස්සරහ මේ වෙනදේ කොහොම තේරුම් කරන්නද කියල අපේ මෑන්ට වැටහීමක් නැතුව ගිහින්. අනික දීපු කනේ පාරත් උන් හිටි තැන් අමතකවෙන්නම වැදිල.
"මම ඔරලෝසුව ගත්තෙ නැහැ, මගෙ කනට ගහන ගහල බිම පෙරලගන්න වෙලාවෙ තමයි මගෙ කලිසමේ සාක්කුවට ඔය ඔරලෝසුව දැම්මෙ" කියල අර පොලිසියෙ රාළහාමිලට පුලුවන් හැම විදිහටම තේරුම් කරල දුන්නත් පොලිසියෙ රාළහාමිල දෙන්න ඒක පිලිඅරගෙනම නැහැ.
"එක්කෝ පොලිසි යමු, එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට කීයක් හරි දීල මේක ගොඩින් බේර ගන්න" පොලිස් රාළහාමිල දෙන්නගෙම පිළිතුර ඒක. පොලිස් රාළහාමිල දෙන්නගෙ හැසිරීමෙන් මේ "ඔරලෝසු සහ කලිසම් සාක්කු" සෙල්ලම ඒ අය දන්න සෙල්ලමක් කියල සැක හිතුන නිසාම ඒ අයගෙ නිල ඇඳුමෙ තියෙන අංකයන් දිහා බැලුවත් ඒවා පපුවට තද උන ලොකු ඩයරි වලින් වැහිල.
පොඩි හරි සහනයක් බලාපොරොත්තුවෙන් අතේ තිබුන ජංගම දුරකතනයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කතා කලත් පිළිතුර උනේ "පොලිසියෙ දෙන්නෙක් ඉන්නවනම් ඒ අය එක්ක පොලිසියට ගිහින් විසඳා ගන්න" කියලයි.
ඒකෙන් වෙන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනවාටත් වඩා වැඩි දෙයක් කියල අපේ මෑන් තේරුම් අරගෙන ඉවරයි ඒ වෙනකොටත්.
රාළහාමිල දෙන්න කතා කරල තියෙන්නෙම අර ඔරලෝසු වෙලෙන්දන්ගෙ පැත්තට. අන්තිමට කොහොම හරි ගෙදර එන්න රුපියල් පනහක් තියාගෙන පර්ස් එකම හූරල හූරල රුපියල් හත්සිය ගානක් අර කළු මිටි පොරට දීල. අන්තිමට අපේ මෑන් එතනින් පිටත් වෙලා ගෙදර එන්න පිටත් උනා.
"හවස් වෙලා ගෙදර එනකොටත් කන හෝ.... ගානව. ඒ මදිවට මූනෙ වම් පැත්ත ඉදිමිලා තිබුන. වම් ඇහැත් රතු වෙලා තිබුන"මේ සිද්ධියෙ අවසන් ප්‍රතිඵලය ගැන අපේ තාත්තට කියල තිබුනෙ එහෙම.
පේව්මන්ට් එකේ හෝ වේවා වෙන කොහෙදි හෝ වේවා ජඩ වැඩ වෙනව තමයි. ඒව නවත්තන්නත් ඔන තමයි. ඒත් ඒවට පොලිස් නිලධාරීනුත් සම්බන්ධනම්..........
වැදගත් -
( යහපත් කල් ක්‍රියාවෙන් අවංකව රටට ජනතාවට සේවය කරන පොලිස් නිලධාරී මහතුනි, මේ චෝදනාව ඔබට නොවේ.)

Wednesday, September 1, 2010

තනි වූ ඇය සහ තනි වූ අය ......


ඒ අම්ම දුක හංගාගෙන සතුටින් හිටියෙ. ඒක මේ හැමෝටම පොදු දෙයක්. හැමදාම එයා උදෙන්ම ඇහැරෙනව. එයාගෙ කාමරේ ඉදල එලියට ඇවිත් මේ කොරිඩෝව දිගේ ඇවිදගෙන ගිහින් එළියට බහිනව. ඊට පස්සෙ හිමි හිමිහිට යනව මීටර් තිහක් හතලිහක් විතර ඈතින් තියෙන ගේට්ටුව ගාවට. ඒ ගිහින් එතන තියෙන මල් පඳුරු අතර සක්මන් කර කර ඉන්නව. ඒ ඉන්න ගමන් පාර දිහා සැරින් සැරේ එබි එබී බලනව. එයා හොඳට අඳුනනව ගේට්ටුව ගාවින් හැමදාම උදේට යන සුදු පාට කාර් එක. එයා ඒ සුදු පාට කාර් එක ඈත තියා දකිනකොට ටිකක් කලබල වෙනව. ඉක්මනට අර මල් පඳුරු වලට මුවා වෙලා ගේට්ටුව පහු කරගෙන යන කාර් එක දිහා බලාගෙන ඉන්නව. ඊට පස්සෙ එතන තියෙන, ඒ තරම් උස නැති ගල් බැම්ම උඩ වාඩි වෙලා ටික වෙලාවක් කල්පනා කර කර ඉන්නව. එහෙම ඉදල ආපහු තමන්ගෙ කාමරයට යනව.
හවසටත් එක වෙලාවක් තියෙනව මේ විදිහට ගේට්ටුව ගාවට යන. ඒ තමයි උදේ ගිය කාර් එක ආපහු අනිත් පැත්තට යන වෙලාව.....
මෙයත් එක්ක ඉන්න අනිත් අය වගේම මමත් මේ සිද්ධිය දැකල තියෙනව. අපි කවුරු හරි මේ අම්මගෙන් "අර සුදුපාට කාර් එක" ගැන ඇහුවහම සුන්දර හිනාවකින් පිළිතුරු දෙනව ඇරෙන්න වෙන කිසි දෙයක් කියන්නෙ නැහැ. මේ අම්ම මීට සති දෙකකට විතර උඩදි අන්ත්‍රා උනා. එයාගෙ අවසන් කටයුතු රජයේ වියදමින් කලා.
ටික දවසකින් අපිට ආරංචි උනා මේ සුදු පාට කාර් එකේ යන්නෙ රජයේ වෛද්‍ය වරයෙක් කියල.ඒ අර මියගිය අම්මගෙ එකම පුතා.... මරණය කියන එක මේ අයට ගොඩාක් දුක හිතෙන දෙයක් නෙමෙයි. එයාල මෙතන ඉන්න ටික කාලෙට මරණ කීයක්නම් දකිනවද...............

මේ කතාව අපිට කිවුවෙ මීරිගම තවලම්පිටිය රජයේ වැඩිහිටි නිවාසයේ පාලනාධිකාරී තුමා. දිනය 2008 වෙසක් පොහොයට පසුදා. අපි මේ වැඩිහිටි නිවාසයට ගියා. අපි කිවුවෙ අපේ ගමේ කොල්ලො ටික. අපේ ගමේ කොල්ලො කට්ටියගෙම සංවිධානයෙන් (බොහෝ සම්බන්ධීකරන කටයුතු ආසිරි මල්ලි විසින් ඉටු කලේ) ගමේ හැමෝගෙම උදවුවෙන් අපි මේ වැඩිහිටි නිවාසෙට වසරක් පාසා දහවල් කෑම වේලක් පිරිනමනව. හවසට ස්වාමීන් වහන්සෙ කෙනෙක් වැඩම කරවීමෙන් පුංචි ධර්ම දේශණාවකුත් පවත්වනව. පුංචි තුවාල වලට බෙහෙත් දාන්න ඕන කරන බෙහෙත් වර්ග, වේදනා නාශක පෙති සහ බාම් වර්ගත් අපි අරගෙන ගියෙ.
මේ අයට කෑම වේලටත් වඩා වටින්නෙ අපේ පැමිනීම නේද කියල ඒ අයගෙ කතා බහෙන් වගේම වැහැරී ගිය මුහුණු වල ඇඳුන අව්‍යාජ සිනහවෙන් අපි හැමෝට තේරුනා. අපේ දෙමව්පියන්, ගමේ වැඩිහිටියො, අපේ පුංචි ගමේ කඩමංඩියෙ තියෙන කඩ කිහිපයක ව්‍යාපාරිකයො වගේම වාහන සැපයීමෙන් වාහන අයිති කිහිප දෙනෙකුත් අපට ලොකු සහයක් දුන්න. ගමේ හුඟ දෙනෙක් එදාට මේ වැඩිහිටි නිවාසයට යනව. මේ වසරෙත් පොසොන් පෝයට මේ කටයුත්ත සිදු කෙරුන. (මම 2008 අග භාගයේ විදේශගත උනා. ඉතින් මට 2008න් පස්සෙ මේ කටයුත්තට සහභාගි වෙන්න බැරි උනා.) එතන වැඩිහිටියන් වගේම මන්ද මානසික අයත් ඉන්නව. ඔක්කොම 350ක් විතර.

ඇත්තටම මේ කටයුත්ත හිතන තරම් අමාරු නැහැ. අවශ්‍ය වෙන්නෙ හැමෝගෙම එකමුතුව විතරයි. ගෙදරකින් එක ව්‍යයාංජනය ගානෙ හදල ලොකුවට බතක් උයා ගත්ත. කලින් දවසෙ රාත්‍රියෙ පටන්ගත්ත ෆුඩ් සැලඩ් එකේ වැඩෙත් කොල්ලො කෙල්ලො හැමෝගෙම සහයෙන් කෙරුන. වැඩේ බොහොම අපූරුවට සිද්ධ උනා.

මේ තරම්ම කට්ටිය නැතත් පුංචි පුංචි වැඩිහිටි නිවාස රට පුරාම තියෙනව. මේවායින් සමහරක් නඩත්තුවට රජයෙන් වගේම නොයෙක් සංවිධාන වලින් මුදල් ලැබෙන බව ඇත්තයි. ඒත් ඒ මුදල් සම්පූර්ණයෙන්ම වැඩිහිටියන්ගේ නඩත්තුවටම යනවද කියන එක සැකයි.
අනික මුදල්, කෑම බීම, ඉන්න හිටින්න සුව පහසු තැනක් ලැබුනාටම නොලැබෙන දෙයක් අපිට එක දවසකට හරි ඒ අයට දෙන්න පුලුවන්. අපි දුන්නෙ එක දවසකට උනාට පුලු පුලුවන් හැමෝම මේ විදිහට සංවිධානය වෙනවනම් වසරකට දවස් ගනනාවක් ඒ අයට අපේ ඇසුර, ආදරය, කරුණාව හිමි වේවි. ඒ අය මොහොතකට හරි සතුටින් හිඳීවි.

අපි කොයි තරම් දේවල් අපේ සතුට වෙනුවෙන් සංවිධානය වෙලා කරනවද.......
උත්සාහ කලොත් බැරි නැහැ මෙහෙම වැඩ කටයුත්තක් සාර්ථක කරගන්න. මම මුලින්ම ලියල තියෙන ඒ අම්මගෙ කතාව වගේ තව කතා සිය දහස් ගනනක් ඇති අපි අහලම නැති..........

යන්න....... අහන්න ඒ අයගෙ කතාවත්........
අහලම බලන්න කොයි තරම් දුක්මුසු තැන් තියෙනවද කියල.......

ලිපියේ ඉහලින්ම තියෙන ඡායාරූපයත් සමඟ ලිපියේ පහලින් තියෙන්නෙ 2008-05-18 දින මගේ කැමරාවේ සටහන් උන, මම සහ මගේ යාළුවන් විසින් ගන්නා ලද ඡායාරූප කිහිපයක්.






Friday, August 13, 2010

කම්බ හොරු 02 ( මැණික් පැන්නීම )


මේ සිදු වීමත් අර රත්‍රන් අලි හොරකම සිදු උන කාලෙදිම සිදු වෙච්ච හොරකමක්. මේ හොර දෙටුවන්ගෙ විශේෂ දක්ෂකම තමයි අපි හැමෝම නොදකින පැත්තක් ගැන හොරා විසින් සම්පූර්ණ විශ්වාසයකින් හොරකම සිදු කිරීම.
මේ සිදුවීමට අදාල ප්‍රදේශයනම් රත්නපුර. රත්නපුර නගරයේ ඉහල ආරක්ෂාවක් තියෙනව වගේම, නගරයේ තියෙන සෑම මැණික් කඩ සාප්පුවක්ම තම තමන්ගෙ ආරක්ෂාව ගැන දක්වන්නෙ බොහොම ලොකු උනන්දුවක්.
දවසක් මේ එක මැණික් සාප්පුවකට උදේ පාන්දරම සාප්පුව ඇරපු ගමන්ම වගේ ජැන්ඩි පහට ඇඳගත්තු තරුණ හාදයෙක් ගොඩ උනා.
"මට ලක්ෂ 50 ක් විතර වටින මැණිකක් ඕන කරල තියෙනව. මගෙ යාලුවෙක් අඳුනන ජර්මන් කපල් එකක් ලංකාවට ඇවිත් ඉන්නව. එයාලට තමයි මැණික ඕන කරන්නෙ. යාලුව මට කිවුව ගානක් තියාගෙන හොඳ එකක් බලන්න කියල."
මේ හාදය චුයින්ගම් එකක් හපන ගමන් තමන් පැමිණි කාරනාව සාප්පුවෙ අලෙවි සේවකයින්ට පැහැදිලි කලා.
ටිකක් වෙලා කතා බහ කර හිටියහම සාප්පුවෙ අයට තේරුනා මේ මෑන්ට මැණික් ගැන හොඳ දැනුමක් තියෙන, මැණික් බිස්නස් කරල හොඳට පුරුදු පොරක් බව.
"මේ රාක්ක වල තියෙන්නෙ වටිනාකම අඩු ඒව. අපි අතුලෙ තියෙන රූම් එකට යමු. අපේ වටින මැණික් තියෙන්නෙ එතන." එහෙම කියල සාප්පුවෙ ඉන්න සේවකයෙක් මේ තරුණයාව ඇතුලට එක්ක ගියා.
කොහොමින් කොහොම හරි වටිනා කියන මැණික් ගල් කිහිපයක් තෝරා, ඒවායින් එකක් මිලදී ගන්න මේ දැන්මම ඉතා ඉක්මනින් මුදල් රැගෙන නැවත පැමිණෙන බව කියන ගමන් මේ තරුණය යන්න හැදුව.මේ අතරෙදි තමන් ආරක්ෂිත තැන් වලින් එලියට ගත්ත මැණික් නැවත අහුරමින් සිටි සාප්පුවෙ අයට තේරුනා ලක්ෂ 50කටත් වඩා වටින එක් මැණිකක් අඩු බව.
" මම ආවෙ බිස්නස් එකක් කරන්න මිසක් හොරකම් කරන්න නෙමෙයිනෙ." සාප්පුවෙ අයගෙ මූලික ප්‍රශ්ණ කිරීම් හමුවේ තරුණය දුන්නෙ එහෙම පිලිතුරක්. ඒ පිලිතුරෙන් සෑහීමකට පත් නොවුන සාප්පුවෙ හිමිකාර මෑන් මේ තරුණයගෙ ඇදුම් ගලවල චෙක් කරන්න තීරනය කලා. මුලින් ටිකක් අකමැති උනත් තමන්ගෙ නිර්දෝශී බව ඔප්පු කරන්න තරුණය ඒ තීරනේට එකඟ උනා. ඒත් මැණික හම්බ උනේ නැහැ.
මැණික ගිල්ල වෙන්නත් පුලුවන්. එහෙම සැක කරල අන්තිමට x-රේ එකක් අරගන්න තැනට වැඩේ දුරදිග ගියා. ඒකත් කරල අන්තිමට තරුණය මැණික ගිලල නැති බවත් තහවුරු කර ගත්ත.
"අපිට ඔයාව සැක කරන්න උනාට සමාවෙන්න.අපේ අයගෙ අතින් කොතන හරි වැරැද්දක් වෙලා ඇති. මහත්තය ඕන වෙලාවක ඇවිත් අපෙන් බඩු ගන්න. අපි අඩු කරල දෙන්නම්." සාප්පුවෙ හිමිකරු එහෙම කිවුවෙ තව දුරටත් මේ තරුණයාව සැක කරන එක තේරුමක් නැති දෙයක් කියල හොඳින්ම තේරුම් ගත්ත නිසාමයි.තරුණය පිටත්ව ගියාට පස්සෙත් නැති වුන මැණික හෙවුවත් හොයාගන්න බැරි උනා.
දවස් කිහිපයක් ගෙවිල ගියා.
" අපරාදෙ .... එදා බිස්නස් එක ගහල ගියානෙ. බලමු අදත් ටිකක් වටින එකක් "දවසක් උදෙන්ම මෙහෙම කියාගෙන අර තරුණ පොර මැණික් සාප්පුවට ගොඩ උනා.සාප්පුවෙ අයටත් අවිස්වාස කරන්න දෙයක් නැති නිසා සාප්පුව ඇතුලෙ වටිනා මැණික් තියෙන කොටසටම මේ තරුණයව කෙලින්ම අරගෙන ගියා.
"අද මගෙ කස්ටමර්ට හරියන ගලක් මෙතන නැහැ. මට පොඩ් එකක් ඕන කරලත් තියෙනව. බලමු පොඩි ගලක්"මෙහෙම කියපු පොර මේ සාප්පුවෙන් ලක්ෂ 3 1/2 කට පොඩි මැණිකකුත් අරගෙන යන්න ගියා.
මෙහෙම කාලය ගෙවිල ගියා. සාපිපුවෙ හිමිකරු ලක්ෂ 50 මැණික ගැන අදහස අත්හැර ගත්තෙ වෙන කරන්න දෙයක් නැති නිසාමයි. සති කිහිපයකට පස්සෙ මේ මැණික් සාප්පුවෙ අය ඔක්කොම එකතු වෙලා සාප්පුව අස්කරන්න ගත්ත. එහි වැඩ කරන සේවකයෙක් අහම්බෙන් දැකපු දෙයක් සාප්පුවෙ හිමිකාර මෑන්ට පෙන්නුව. ඔන්න එතකොටයි සති කීපයකට උඩදි ලක්ෂ 50 මැණිකට උන දේ හැමෝටම තේරුනේ.
සාප්පුව අතුලෙ වටිනා මැණික් තියෙන කොටසෙ තිබුන මේසයක යට පැත්තෙ අලවල තියෙන චුයින්ගම් එකක මැණිකක සළකුණු යස අගේට සටහන් වෙලා තියෙනව.දෙවෙනි පාරට ලක්ෂ 3 1/2 මැණික ගන්න ඇවිත්, අරගෙන ගිහින් තියෙන්නෙ ඒ ලක්ෂ 3 1/2 මැණික විතරක් නෙමෙයි කියල කාට කාටත් තේරෙනකොට.......
මේකත් සත්‍ය සිදුවීමක්.මේ සිද්දියත් කියවපු පත්තරේ මතක නැහැ වගේම ඒක වාර්තා කලේ කවුද කියලත් මතක නැහැ....
අන්තිමේදි කියන්න තියෙන්නෙ "අපිට මේව හොඳ පාඩම්" කියල තමයි ඉතින් නේද??

Saturday, August 7, 2010

කම්බ හොරු 01 - ( අලි හොරකම )


මේ කතාවට අදාල ප්‍රදේශය ටිකක් නාගරිකයි.... මේ නගරයේ තිබුන උකස් මධ්‍යස්ථානයකට දවසක් තරුණයෙක් ගොඩ වැදුන... ඊ ලගට තරමක් බර පාර්සලක් බොහොම පරිස්සමට කවරයකින් එලියට අරගෙන උකස් මධ්‍යස්ථානයේ කවුන්ටරයට ඉදිරිපත් කලා... මේ වෙලාවෙ කවුන්ටරයෙ හිටියෙ මේ උකස් මධ්‍යස්ථානයෙ අයිතිකරුමයි.මෙයාට රත්‍රන් බඩු කඩයකුත් තිබුන ඒ ටවුන් එකේම.
"අයිය.. මට මේකට ලක්ෂ 5 ක් ගන්න පුලුවන්ද? "
ඒක රනින් නිම කල අලියෙකුගේ අනුරුවක්. කඩයේ අයිති කාර මෑන් රන් අලියව අතට ගත්ත.
" කොහොමද මම මේක චෙක් කරන්නෙ? රත්‍රන් ගාලද දන්නෙ නැහැනෙ. ඇතුල රත්‍රන්ද කියල සූරල බැලුවත් හොයාගන්න බැහැ සමහර විට. හරියටම චෙක් කර ගන්න ගැඹුරට සිදුරක් විදින්න ඕන. "
අලිය අරගෙන ආපු පොර මුලින් ටිකක් අදි මදි කලත් පස්සෙ වැඩේට කැමති උනා.
"වෙන කරන්න දෙයක් නැත්නම් ඒක කරමු. මට සල්ලි හදිස්සියි."
කොහොමින් කොහොම හරි අන්තිමේදි දෙන්නගෙම කැමැත්තෙන් අලියගෙ බඩ මැදින් ටිකක් ඇතුලට විදල අලිය දඹ රත්‍රන් බව තහවුරු කර ගත්ත.ඊ ගාවට තවත් ප්‍රශ්නයක්....
"මේකෙ බරට, අපේ රේට් එක්ට ඔයාට දෙන්න පුලුවන් ලක්ෂ 3 1/2 ක් විතරයි මල්ලි " කඩයේ අයිති කාර මෑන් එහෙම කියුව.
"බෑ බෑ අඩුම ගානෙ මට ලක්ෂ 4 1/2 ක් වත් ඕන." අලිය අයිති පොරත් අප්සෙට් එකෙන් කිව්ව.
ඒත් උකස් මධ්‍යස්ථානයෙ අයිතිකරු කිවුවෙම ලක්ෂ 3 1/2 වැඩිය දෙන්න බෑ කියලමයි.
"දෙන්නකො ඔය අලිය, මම තව තැන් කිහිපයකින් අහලම එන්නම්." තරුණය අලියත් අරගෙන පිටත් උනා.
"ඔය ගියාට ආපහු එයි. අනිත් තැන් වලින් ඔය ගානවත් දෙන්නෙ නැහැ." උකස් කඩේ අයිතිකරු තමන්ටම එහෙම කියා ගත්තෙ, තමන් දෙන්නට හැදූ මුදල ඉතා සාධාරණ බව දන්න නිසාමයි.
පැය බාගයක් විතර යනකොට අර තරුණය මූණ ඤොරොක් කරගෙන ආපහු අර උකස් මධ්‍යස්ථානයටම ආව.
" අනිත් තැන් වලින් දෙන්න කැමති උපරිම ලක්ෂ 3 යි. ලක්ෂ 3 1/2 ක් දෙන්න කැමති උනේ අයිය විතරයි. ඒකවත් දෙන්න. මට සල්ලි හදිස්සියි."
"ඒකනෙ මල්ලි, මගෙ ගාන සාධරණයි "
ඉහේ පිපුන මල් ටික පරිස්සමට අත ගානව තරම් පරිස්සමට අලියව අතට ගත්තු කඩයේ අයිති කාර මෑන් අලියගෙ බඩ මැද විදපු සිදුර දිහා බලන ගමන් සිහින් සිනාවක් දැම්ම. ගනු දෙනුව ඒ විදිහට අහවර උනා..............
ටික කාලයක් ගත උනා. රත්‍රන් අලිය සින්න උනා. සින්න උන දඹ රන් අලියා උනු කර රත්‍රන් බඩු හදන්න තමන්ගෙම රත්‍රන් බඩු කඩයට රත්‍රන් ආභරණ සාදන අයට බාර දුන්න.
උකස් මධ්‍යස්ථානයෙ අයිතිකරුට දෙලෝ රත් වූවේ එවිටයි. රත්‍රන් අලියා පිත්තල වී ඇත. ඒත් රත්‍රන් අලියාගේ බඩ මැද සිදුරත් එහෙමමයි.
ටිකක් හිතල බලන කොටයි වැඩේ තේරුනේ.
අර රත්‍රන් අලිය උකස් කරන්න ආපු තරුණය සැබෑ රත්‍රන් අලියෙකු අරගෙන ඇවිත් එය නියම රත්‍රන් බව ඔප්පු කරල, ලක්ෂ 3 1/2 ක් මදි කියල ඒ රත්‍රන් අලියා ආපහු අරගෙන ගියානෙ. ඒ ගිහින් කරල තියෙන්නෙ ඒ හා සමාන රත්‍රන් ආලේප කරපු පිත්තල අලියෙකුගේ බඩ සිදුරු කරල, එම පිත්තල අලියා අරගෙන ඇවිත් ඒක උකස් කරල. මේ ටික උකස් මධ්‍යස්ථානයෙ අයිතිකරුට තේරෙන කොට.....


සෑහෙන කාලෙකට ඉස්සර සිදු වුන සත්‍ය සිදුවීමක් මේක. කියවපු පත්තරේ මතක නැහැ වගේම ඒක වාර්තා කලේ කවුද කියලත් මතක නැහැ...මතක තිබුන ටිකට වචන ගැලපුව ඔන්න. හොරකම් කරන ක්‍රම වල නවමු සංකල්ප බොහොමයක් අපිට හොඳ පාඩම්. එහෙම නේද??
Related Posts with Thumbnails