මට වයස අවුරුදු එක හමාර වෙනකොට මට තවත් සොහොයුරෙක් එකතු වෙනව. ඒත් අම්මයි තාත්තයි දෙදෙනාම රැකියාවට යෑම නිසා, මගේ මල්ලීව තාත්තාගේ නැගණියගේ උදවුවෙන් ඒ නිවසේ ඇති දැඩි වෙන කොට මම හදාවඩා ගැනීමේ වගකීම මගෙ අම්මගෙන් ඇයගේ නැගණියයි, අම්මයි තාත්තයි, ඒ කියන්නෙ මගෙ පුංචියි, සීයයි, ආච්චියි ලබාගෙන. මවගේ මහගෙදර ඉදල කිලෝමීටරයක් විතර දුරින් තමයි පියාගේ මහගෙදර තියෙන්නෙ. ඉතින් මම අවුරුදු එක හමාරෙ ඉදල මගෙ ආච්චියි සීයයි පුංචියි ලඟ තමයි හැදුනෙ වැඩුනෙ. මගේ මව රැකියාවට පිටත්ව යන කොට වගේම රැකියාවට ගොස් එන ගමන් හැමදාම ඇයගේ මහ ගෙදරට ගොඩ වැදී මං ගැන හොයල බලල තමයි යන්නෙ. මාව මේ ලෝකයට බිහි කල අම්මා මට ආදරෙයි ගොඩාක්. ඇය ගැන, ඇයගේ සෙනෙහස ගැන, ඇය අප වෙනුවෙන් ජීවිතයේ කල කැප කිරීම් ගැන වෙනමම කතාකලයුතු දේවල් එමටයි. මගෙ අනිත් අම්ම චූටි අම්ම. ඒ කියන්නෙ මගෙ අම්මගෙ නැගණිය. ඒ අම්ම මට අවුරුදු එක හමාරෙ ඉඳන් මං වෙනුවෙන් කල කැපකිරීම නිසයි මං අද මේ තත්ත්වයෙන් ඉන්නෙ. එයා ගැනත් වෙනමම ලිවිය යුතුමයි.
මේ කතාව කියල ඉවර වෙනකොට මම ගැන මොන විදිහට හිතයිද කියල මම දන්නෙ නැහැ. ඒත් මගෙ හිතට එකඟවයි මම මේ ලියන්නෙ. දරුවෙකුට මේ ලෝකයෙ වැඩිම ආදරයක් විඳින්න ලැබෙන්නෙ අම්මගෙන්. අම්ම සහ චූටි අම්ම් ගැන මම කිවුවනෙ මුලින්ම. මට අම්මල තුන්දෙනෙක් හිටිය. මේ කියන්න යන්නෙ මට තේරෙන විදිහට, මට දැනුන විදිහට මට වැඩියෙන්ම ආදරය කල අම්ම ගැනයි. ඒ මගෙ සුදු අම්ම. මගෙ මවගේ මව. ඇය ඇත්තටම සුදුයි, පියකරුයි. අදට අවුරුදු 14ක් ඇය අපි අතරින් ඈත් වෙලා ගිහින්. කිසිම දවසක මම ඇයට ආච්චි කියල අමතල නැහැ. මට එහෙම හැඟීමක් දැනිලත් නැහැ. සුදු අම්මට පහු කාලයකදි අම්ම කියලම අමතන්න පුරුදු උනේ ඇයගෙන් මං ලබාපු මවු සෙනෙහස නිසාම වෙන්න ඇති. මාව මේ ලෝකයට බිහි කල අම්ම ගෙදර ඉන්න වෙලාවට විතරක් ඇයට සුදු අම්ම කියල කියන්න මම පුරුදු උනා. ඒ දවස වල සමහර වෙලාවට මම "අම්මෙ" කිවුවහම අම්ම, චූටි අම්ම, සුදු අම්ම තුන් දෙනාම තරෙඟෙට වගේ "ඇයි...." කියන්නෙ.
ඒත් මට එදාටත් වඩා අදට දැනෙන විදිහට සුදු අම්මාගෙ සෙනෙහස සුවිශේෂියි. සුදු අම්මගෙ චරිතයත් සුවිශේෂියි. ඇය කිසිවෙකුට කිසිම ආකාරයකින් කරදරයක් උනේ නැහැ. කාගෙවත් ඕපාදූප හොයන්න ගියෙත් නැහැ. ඇයගේ ජීවිත කාලය තුල කිසිම කෙනෙකුගෙ හිත රිදෙන විදිහට කිසිම දෙයක් කියල නැතුව ඇති. මගෙ සීයට ( මම ඇමතුවෙ "අත්ත" කියල ) ඇය පුදුම සෙනෙහසකින් ඉඳල තියෙනව.ඒ අයගෙ ආදර කතාව මට කිවුවෙත් චූටි අම්ම.
බොහෝ කලකට පෙර බිම ඇද වැටීම නිසා ඇති වූ කොඳු ඇට පෙලේ ආබාධයක් නිසා ඇය නිවසින් පිට ගියෙ ඉතා කලාතුරකින්. ඒ ආබාධයට ඩොක්ටර්ස්ල පලදින්නට නියම කල බෙල්ට් එක නිදන කොට්ටය යට තබාගෙන සිටීම නිසා අපි ඇයට විහිළුත් කලා, "කොට්ටෙ යට තියාගෙන හිටියහම කොන්දෙ අමාරුකම් හොඳ වෙයි" කියල. සුන්දර හිනාවක් ඇරෙන්න ඇය මුකුත්ම කියන්නෙ නැහැ ඒ වෙලාවට.
ගමේ හැමෝම ඇයව ඇමතුවෙ නෝන කියල. සුදු අම්ම ඉස්සර මං ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකම් මග බලාගෙන් ඉන්නව. ගෙදර ආ හැටිය "බඩගිනියිද" කියල අහන්නෙ. මුකුත්ම නොතිබුන දවසට බතක් උයල, සම්බෝලයක් හදල කරෝල කෑල්ලක් ගිණිඅළු පල්ලෙ දාල පුච්චල අරගෙන දෙහි ටිකක් දාල දෙනව මට. මෙන්න මගෙ ආසම කෑම වේල අදටත්. මෑතකදි උනත් ඔය කෑම වේල කනකොට "උඹට ඕව පුරුදු කලේ සුදු අම්ම තමයි" කියලයි ගෙදර හැමෝම කියන්නෙ. පාඩම් කරන්න පාන්දර ඇහැරවන්න කිවුවහම පාන්දරට ඇඳ ලඟට ඇවිත් මන් නැගිටිනකම් ඔළුව අත ගගා "පුතේ නැඟිටින්න, පුතේ නැඟිටින්න" කියල කියෝනව. ඉතින් තවත් සැපට නින්ද යනව. මාව එකපාර අහැරවන්න ඇයට ඒ තරම් දුකයි. විහිලුවක් කලාම ඇයගෙ සුදුම සුදු පාට බොරු දත් කුට්ටම පෙන්නල හිනා වෙනව. මට අසනීපයක් හැදුනත් වැඩියෙන්ම කලබල වෙන්නෙ ඇය. ගෙදරට ගේන ඕනෑම් දෙයකින් මගෙ කොටස වගේම ඇයගෙ කොටසත් මං වෙනුවෙන් වෙනමම වෙන් කරගන්නව ඇය. ඊට පස්සෙ දවස ගානෙ මට ටික ටික දෙන්නෙ. ඒ කියන්නෙ අද ඔක්කොම දුන්නොත් හෙට දෙන්න දෙයක් නැති වෙන නිසා තවත් ඉල්ලුවොත් "නැහැ" කියන උත්තරේ තමයි ලැබෙන්නෙ ඇයගෙන්.
ඔළුවේ නහරයක් පිපිරීමෙන් අසනීප වෙලා රෝහල් ගතකිරීමෙන් පසුව සිහි විසඥ උන ඇය 1996 ඔක්තෝම්බර් මස 04 වෙනිද අපෙන් සදහටම සමු ගත්ත. ඒ මරණයේ වේදනාව අපට තදින් දැනුන නිසාම ඇයගේ ඇඳුම් අල්මාරියවත් ඇරියෙ නැහැ සෑහෙන දවසක් යනකම්. ඒක අස්පස් කරන දවසෙ මම වෙනුවෙන් සඟවල තියාගත්තු කෙසෙල් ගෙඩි, බිස්කට් හම්බ උනා.අදටත් සුදු අම්ම ගැන අම්ම එක්කවත් චූටි අම්ම එක්කවත් වැඩිපුර කතා කරන්න නොයන්නෙ ඒ අය ඔය හැමදේම මතක් කරකර අඬන්න ගන්න නිසා.
උතුම් මනුෂ්‍ය ගුනාංග වලින් යුත් ගැහැණුන් අතර මගේ සුදු අම්ම රැජිනක්. ඇය නිවනට ඉක්මනින්ම ලඟා වේවි. ඒත් එයට පෙර සසරේ එක් වරක් හෝ මගේම මව වෙන්න කියල මම පතනව.
මේ ඉන්නෙ අත්තයි සුදු අම්මයි.
මේ සුදු අම්මගෙ තවත් ෆොටෝ එකක්. මේ මිටි කොලු පැටිය මම තමයි. අනිත් දෙන්න නංගියි මල්ලියි.
සුදු අම්මාට නිවන් සුවයම පතමි !!!!!!!!!!
ReplyDeleteඅම්මලා තුන්දෙනෙකුගේ දරුවෙක්...
ReplyDeleteආදරණීය සුදු අම්මට නිවන් සුව...!
මගේ අත්තම්මත් අප හැරගියේ 1996 අප්‍රේල් මට ඇයව නැවත සිහිඋනා මේ ලිපියෙන්. බොහෝ අම්මලා වගේම අත්තම්මලාත් දරුවන්ට අම්මලා තමා. අපි ඒ කාටත් කළගුණ සලකන්න ඕන. දැන් මගේ අත්තලා අත්තම්මලා කව්රුත් නෑ. ඔබේ වගේම මගේත් අප සැමගේම ඒඅයට අපි නිවන් සුව පතමු. බොහොදේ ඔබේ සටහනෙන් මතක් උනා. ස්තුතියි කංචු...
ReplyDeleteමව් සෙනෙහස අහිමි ඇතැම් දරුවන් අතර ඔබ ඉතාම වාසනාවන්තයෙක්. අම්මල තුන්දෙනෙක්. ඒ ආදරය අපි මැරෙනතුරුම අපිට ශක්තිය දෙනව. ඔබේ බලාපොරොත්තුව ඉෂ්ටවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteමට මතකයි මමත් සුදු අම්මගෙ මලගෙදර ආව....පුටාර් එකේම.....අලව්වෙ ඉදලම පුටාර් එකේ ආවෙ.............
ReplyDeleteසුදු අම්ම නිවන් ගියොත් ආයෙත් ආත්මෙක උබේම අම්ම වෙන්ඩ බැරිවෙන නිසා.........
මම මොනව කියන්ඩද මචං..........
හැම කමන්ටුවකටම බොහොමත්ම ස්තූතියි.....
ReplyDelete@ siribiya
1996 අලව්ව නිපෝන් ක්ලාස් එකේ අපි සෙට් එක....... ඒ අතීතය.......