Sunday, February 26, 2012

ඉඩමක් මිලදී ගැනීමේ සිට නව නිවසක් ඉදි කිරීම දක්වා... ( නිවසක් සෑදීමට පෙර )


අපි මුලින් කතා කලේ හොඳ ඉඩමක් තෝරා ගන්නෙ කොහොමද කියල. ඒ ලිපිය කියවන්න පුලුවන් මෙන්න මෙතනින්. හොඳයි අපි යමු ඊලග පියවරට. ඉඩම තෝරා ගත්තත් ඒක මිලදී ගන්නත් ඕනනෙ. මෙන්න මෙතනදි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන ඉඩම නීත්‍යානුකූලද කියන කාරණාව ගැන. මොකද හොර ඔප්පු හදල ඉඩම් විකුණන අය ගැන දැන් දැන් වැඩි පැමිණිලි ගණනක් පොලිසි වලට වාර්තා වෙනව කියල පොලිස්පති තුමත් ලඟදි ප්‍රකාශ කලා. තමන් දන්න කියන නීතීඥ මහතෙකුගෙ සහයෙන් ඉඩමෙ ඔප්පුව ගැන හොඳට හොයල බලන්න. මොකද හොර ඔප්පුවක් කියුවහම ගොඩක් අය හිතාගෙන ඉන්නෙ සැලකිල්ලෙන් බලපුහාම අදුන ගන්න පුලුවන් එකක් කියලයි. ඇත්තටම බොහොමයක් හොර ඔප්පු උසාවියක් ඉදිරියෙ උනත් " මේක තමයි හොර ඔප්පුව" කියල කියන්න බැරි තරම් නිවැරදි විදිහට හදන අවස්ථා බහුලයි. ඒකට හේතුව නම් ඉතින් ඒව හදන්න රජයේ ඉඩම් සම්බන්ධව තියෙන කාර්යාල වල ඉන්න අයත් හොර  ඔප්පු හදන්න සම්බන්ධ වීම තමයි.
අපි ඊළඟට බලමු මෙන්න මේ මිලදී ගත්ත ඉඩම කොහොමද නිවසක් තනන්න පුලුවන් විදිහට සකස් කර ගන්නෙ කියල. මෙතනදි කිව යුතුම දෙයක් තමයි මේ බිම් සකස් කිරීමටත් කලින් තමන්ගෙ නිවස සැලසුම් කරගැනීමට සුදුසු වාස්තු විද්‍යාඥයෙකු හෝ සැලසුම් ශිල්පියෙක් තෝරා ගන්න කියන එක. මොකද ගොඩක් අය නිවසක් හදන්න ලක්ෂ ගනන් වියදම් කරන්න සූදානම් උනත් ඒකට අඳින සැලැස්ම ඉතා ලාභදායී ලෙස කරගන්නයි හිතන්නෙ. දැන්නම් රට හැමතැනම සැලසුම් ශිල්පියො. එකම සැලැස්ම කිහිප දෙනෙකුට දෙන, තව කාගෙන් හරි කොපි කර ගත්ත සැලසුම් තමන්ගෙ වගේ දෙන සැලසුම් ශිල්පියොත් ඉන්න බව මතක තියාගන්න. හොඳ පලපුරුද්දක් තියෙන වෙනස් වෙනස් සංකල්පයන් හරහා නිවාස සැලසුම් කරන අයත් ඉන්නව. නිසි සැලසුමකින් තොරව නිවසක් හදන්න වැඩ පටන්ගත්තහම අපටත් නොදැනීම ගොඩක් අනවශ්‍ය වියදම් වෙනව. ඒ ගැනත් ටිකක් හිතන්න.
 ඉඩමේ බිම පිහිටීම කොහොම උනත් ( තැනිතලා නොවුනත් තද බෑවුමක් නැත්නම්  ) පස් පුරවාපු එකක් නොවෙනවනම් නිවසක් තනන්න පුලුවන්. තැනිතලා නොවෙනවනම් නිවස මට්ටම කිහිපයකට ගොඩ නගා ගන්න පුලුවන්. මෙතනදි ගොඩක අය කරන වැරැද්දක් තමයි හිතේ හැටියට ඉඩම මට්ටම් කරන්න යන එක. ඒ කලත් එක් කොටසකින් පස් කපල ඉඩමේ නිවස සෑදීමට බලාපොරොත්තු වෙන සීමාව පුරවන එක කරන්න එපා.මොකද අපි අත්තිවාරම් කපන්නෙ පිහිටි පොලවෙ. පුරවපු පස් තියෙන තැනක් නම් අනිවාර්යෙන්ම අත්තිවාරම කාණුව ඒ පුරවාපු පස් හරහා පිහිටි පොලව දක්වා කපල ඊටත් පස්සෙ පිහිටි පොළවෙත් පසේ ස්වභාවය අනුව කාණුව කැපිය යුතුමයි.
ඉහත රූප සටහනට අනුව නිවසක අත්තිවාරම් කැපීමට සුදුසු පස් කපල ඉවත් කරපු ප්‍රදේශය තමයි. 

ඔය ඉහලින් තියෙන රූපසටහනේ විදිහට බෑවුම් සහිත ඉඩමක් මට්ටම් දෙකකට හරි, කිහිපයකට හරි බිම සකස් කරගෙන ඒ මට්ටම් අනුව නිවස සැලසුම් සකස් කර ගන්න පුලුවන්.
මේ හැම දේම සැලසුම් ශිල්පියත් සමග කතාබහ කරන ගමන් සිදුවිය යුතු දේවල්.
කොහොම උනත් ඉඩමේ ලොකු බෑවුමක් තියෙනව නම් ඒත් අපිට නිවසක් ඉදිකිරීමට ඒක ලොකු බාධාවක්නම් නෙමෙයි. අමතර වියදමක් දරන්න උනත් අවසානයේදි ලස්සන නිර්මාණයක් බිහි කරන්න දක්ෂ නිර්මාණ ශිල්පියෙකුට පුලුවන්. මේ තියෙන්නෙ අඩි 10 ක මට්ටම් වෙනසක් තියෙන ඉඩමක ඉදිකල නිවසක හරස් කඩක්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙත් සුදුසු වාස්තු විද්‍යාඥයෙකු හෝ සැලසුම් ශිල්පියෙක් තෝරා ගන්න කියන එක. නිවසක නියම පදනම ( Base එක ) අත්තිවාරම නෙමෙයි, ඒ සඳහා අඳින සැලැස්ම ( Plan එක). අපි මීලඟ ලිපි වලින් "නිවස සදහා සැලසුම ඇඳීම" ගැන සාකච්චා කරමු.
Related Posts with Thumbnails