Saturday, October 23, 2010

පොලිෂ් නොවුනු පොලිස්

කිසිම විදිහකින් මගෙ අදහසක් නැහැ පොලිසියෙ සේවය කරන ගුණ යහපත්, රටට සේවය කරන අයට අගෞරව කරන්න. මේ කියන්න යන සිදුවීම් දිහා බලපුහාම හොඳට තේරෙන දෙයක් තමයි සාමාන්‍ය මිනිසුන් කරන වැරදි නිසයි පොලිස් නිලදරුවන් මේ තත්වෙට වැටිල තියෙන්නෙ. විශේෂයෙන් ට්‍රැෆික් පොලිසිය. ලංකාවෙ රියදුරන් අති අවිනීතයි. ඒක තමයි පැහැදිලි ඇත්ත.
කතා ටික රසවත්ද කියන්න මට තේරෙන්නෙ නැහැ. රටකට ගිය කල කියල හිතෙන කොට ගොඩාක් දුකයි.
මම වසර කිහිපයකට කලින් වැඩ කරපු ආයතයේ සමහර කාල වලට වැඩ වැඩි වෙනව.ඉතින් පාන්දර ඔෆීසියට එන්න ඕන වගේම සමහර දවස් වලට එදා දවසට කරන්න තියෙන වැඩ ටික ඉවර වෙනකොට හොඳටම රෑ වෙනව.එහෙම කාල වලට ප්‍රවාහන පහසුකම් ඉතින් ඔෆීසිය ගානෙ.ඔෆීසියෙම ඉන්න අයිය කෙනෙක්ගෙ වෑන් එකක් තියෙනව හයර් එකට ඔෆීසියට ගන්න. වෑන් එක අයිති අයිය වගේම එලවන හාදයත් ලෝකෝත්තරයො කියුවොත් වැරදි නැහැ. දෙන්නම මගෙත් හොඳ යාලුවො තමයි. ඒත් ලඟින් ගියොත් ඇහැක් නැහැ. (නරකක් කරන අය නෙමෙයි. මඩ කප්පිත්තො. මොකක් හරි අංචියක් ඇදල මඩක් ගහන්න උපන් ගෙයි හපන්නු.)

අපේ ඔෆීසිය තිබුනෙ කොළඹ යුනියන් පෙදෙසෙ. ඔන්න එදා අපි ටිකක් පාන්දර වැඩට ඇවිත් හවස හය විතර වෙනකොට කරන්න තිබුන වැඩ ඉවර වෙලා වෑන් එකේ නැගල ගෙදර එන්න පිටත් උනා. මීට අවුරුදු හතරකට පහකට කලින් මතකයිනෙ කොටි කලබල නිසා කොළඹ අඩියෙන් අඩිය පොලිස් බැරියර් තිබුන හැටි. ඔන්න මරදානෙදි ඇල්ලුව වෑන් එකට STOP බෝඩ් එක.
ඔක්කොම පොලිස් රාලහාමිල දහයක් විතර හිටිය එතන. සිග්නල්,හෙඩ්, ඩිම් ලයිට් චෙක් කලා වැඩද බලන්න.මට මතක විදිහට හෙඩ් ලියිට් දෙකෙන් එකක් වැඩ නැහැ. අපිත් ඉතින් එතන හිටිය අයට කියල කියල හරි අමාරුවෙන් දඩයක් නොකා බේරෙන්නයි ට්‍රයි කලේ. කොහොම හරි අවවාද ගොඩාක් මැද, හෙඩ් ලයිට් එකක් නොමැති වීමෙන් අපට ඇති වෙන අවදානම ගැන කරුණු පහදා දීමකින් අනතුරුව අපට නිදහස ලැබුන. ටික දුරක් වෑන් එක ඉස්සරහට යන ගමන් අපේ මෑන් මෙන්න මෙහෙම කියනව.
" ඔය කියෝල කියෝල යන්න දුන්නට අනිත් පොලිස් බැරියර් වලටත් මේ වෙනකොටත් මැසේජ් එකක් ගහල ඇති ඔන්න කෑමක් එනවා කියල. මම කාල තියෙනව ඔය ලණුව එක සැරේකුත්." පේනව නේද තනියෙන් නෙමෙයි, බෙදා හදාගෙන කන්නෙ මේ අය. ඒ දේවල් වලට තියෙන සමගිය......

මේ කතාවත් ඔෆිස් ඇරිල, අපි කෂ්ටිය ඔය වෑන් එකෙන්ම ගෙදර එන ගමන් උන දෙයක්. අපි කොළඹින් පිටත් වෙලා නිට්ටඹුව පැත්තට එනව ඔන්න. මතක විදිහට පෑලියගොඩ පහු උනා විතරයි. ඇල්ලුව පොලිසියෙන්. වංගු වලදි ඔය කාපට් පාරෙ ඇඳල තියෙනවනෙ ඉරි දෙකක්. ඔක කැපිල යන විදිහට වාහනයක් එලවනව කියන්නෙ ලඟ පාත ඉන්න පොලිස් රාළහාමිලාගෙ අත මිට සරු කරනව කියන එක. ඔන්න අපේ රියදුරු මහත්තයත් බැහැල ගියා. ටික වෙලාවක් ගියා. මිනිහ එන පාටක් නැහැ. අපිත් නිකමට වගේ වාහනෙන් බැහැල ගියා ඒ පැත්තට. අපි මීටර් කීපයක් ඈතින් ඉඳගෙන මොකෝ මේ වෙන්න යන්නෙ කියල බලාගෙන හිටිය. ඔන්න ටික වෙලාවකට පස්සෙ එනව අපේ රියදුරු මහත්තයත්. අපිත් ගිහින් වෑන් එකට නැග්ග.
"ඔයාල එතනට ඇවිත් වැඩේ කෑවනෙ. මිනිහට මන් සල්ලි දීල බේරෙන්න හදන කොට ඔයාල අවායින් වැඩේ ගැස්සුනානෙ. "යාලුවො ටික වැඩේ කෑව නේද?" කියල මිනිහ මගෙන් ඇහුව."
මෙන්න මෙහෙම අපේ රියදුරු මහත්තය අපිට දෝස්මුරේ තියන්න ගත්ත.

මේ කියන්න යන්නෙත් තවත් එක සිදු වීමක්. මේ සිද්දිය වෙලා තියෙන්නෙ මුල් කතාවෙ මෑන්ටම තමයි.
ලංකාවෙ හොඳට පාර කාපට් කරල් තියෙන පාගල යන්න පුලුවන්, එක කෙලින් පාර තියෙන තැන් තියෙනවනෙ. ඔන්න ඔය තැන් වලට එනව ට්‍රැෆික් පොලිසියෙන්. ඔය රාළහාමිල දෙතුන් දෙනෙක් සෙට් වෙලා ඇවිදින් මොකක් හරි එකකට මුවා වෙලා වේගෙන් එන වාහන වලට අල්ලනව අර වේගමානය. ඕකෙ සටහන් වෙන වේගෙ හැට පැන්නොත් බඩුම තමයි.
ඔන්න අපේ වෑන් එක එලවන හාදය දවසක් කොහේදෝ යද්දි පොලිසියෙන් අල්ලල. හේතුව "වේගෙ වැඩියි". ඔන්න අපේ හාදයත් ආපු වේගෙට අර ට්‍රෆික් පොලිස් රාළහාමිල පහු කරගෙන මීටර් විසි පහක් විතර දුර ගිහින් වෑන් එක නවත්තල. සාමාන්‍යයෙන් ඔය වගේ වෙලාවට පර්ස් එකේ සල්ලි වෑන් එක ඇතුලෙ කොහාට හරි දාල තමයි මෑන් වෑන් එකෙන් බහින්නෙ. එදත් වෑන් එක නවත්තල වෑන් එකෙන් බහින ඇහිල්ලට පර්ස් එකේ තිබුන සල්ලි වෑන් එක ඇතුලෙම හංගල තමයි මෑන් වෑන් එකෙන් බැහැල තියෙන්නෙ. ඔන්න ලයිසන්, ඉන්ෂූවරන්ස් එහෙම අරගෙන අර රාළහාමිල ලඟට ගිහින්. දැන් දඩයක් ලියන්නයි ලෑස්තිය. අපේ මෑන් දන්න කියන සෙල්ලම් දාල නාහෙන් අඬල දඩේ ලියන්න දෙන්නෙ නැතුව. ඒත් ලියන්න හැදුවට නොලිය ඉන්නමයි රාළහාමිලගෙත් උත්ත්සහය කියල තේරිලා අපේ මෑන්ටත්. අපේ මෑනුත් ලියන්න එපා කියල දුක කියන ගමන් සමහර වෙලාවට අත් දෙක එකතු කරල වැඳ වැඳ නාහෙන් අඬනව මිසක් කීයක් හරි දීල බේරෙන්න පොඩි උත්සාහයක්වත් අරන් නැහැ. ( මිනිහ මහ පාර මැද දන ගහල උනත් වඳී. ඉපදිලා ටිකදවසකින් ලැජ්ජ නහරෙ කපාපු පොරක්.....) අන්තිමට අර රාලහාමිලටම මේ කරච්චලේ එපාවෙලා "අපිට සලකනවනම් අපිත් සලකනව" කියල කියල. ඔන්න ඊට පස්සෙ අපේ මෑන් පර්ස් එක එහෙම එලියට අරගෙන අර රාළහාමිලට පේන්නම ඇදල ඇදල පර්ස් එකේ මුල්ලක ගුලි වෙලා තිබුන රුපියල් දහයෙ නෝට්ටු දෙකක් ඒ කියන්නෙ රුපියල් විස්සක් එලියට අරගෙන නාහෙන් අඬන ගමන් රළහාමි කෙනෙක්ට දික් කොරල "මෙච්චරමයි අත සන්තකටම තියෙන්නෙ" කියන ගමන්.
"කියන්න අප්පිරියයි බං මූ ඒක ගත්තනෙ. අරගෙන මට කියනව මම උඹෙන් මේ රුපියල් විස්ස අරගෙන උඹට යන්න දෙනවට මට කනට එකකුත් ගහල පලයන් කියල." අපේ මෑන් කතාව ඉවර කලේ ඔන්න ඔහොම කියන ගමන්.

Monday, October 4, 2010

එක් මවක්........

මට වයස අවුරුදු එක හමාර වෙනකොට මට තවත් සොහොයුරෙක් එකතු වෙනව. ඒත් අම්මයි තාත්තයි දෙදෙනාම රැකියාවට යෑම නිසා, මගේ මල්ලීව තාත්තාගේ නැගණියගේ උදවුවෙන් ඒ නිවසේ ඇති දැඩි වෙන කොට මම හදාවඩා ගැනීමේ වගකීම මගෙ අම්මගෙන් ඇයගේ නැගණියයි, අම්මයි තාත්තයි, ඒ කියන්නෙ මගෙ පුංචියි, සීයයි, ආච්චියි ලබාගෙන. මවගේ මහගෙදර ඉදල කිලෝමීටරයක් විතර දුරින් තමයි පියාගේ මහගෙදර තියෙන්නෙ. ඉතින් මම අවුරුදු එක හමාරෙ ඉදල මගෙ ආච්චියි සීයයි පුංචියි ලඟ තමයි හැදුනෙ වැඩුනෙ. මගේ මව රැකියාවට පිටත්ව යන කොට වගේම රැකියාවට ගොස් එන ගමන් හැමදාම ඇයගේ මහ ගෙදරට ගොඩ වැදී මං ගැන හොයල බලල තමයි යන්නෙ. මාව මේ ලෝකයට බිහි කල අම්මා මට ආදරෙයි ගොඩාක්. ඇය ගැන, ඇයගේ සෙනෙහස ගැන, ඇය අප වෙනුවෙන් ජීවිතයේ කල කැප කිරීම් ගැන වෙනමම කතාකලයුතු දේවල් එමටයි. මගෙ අනිත් අම්ම චූටි අම්ම. ඒ කියන්නෙ මගෙ අම්මගෙ නැගණිය. ඒ අම්ම මට අවුරුදු එක හමාරෙ ඉඳන් මං වෙනුවෙන් කල කැපකිරීම නිසයි මං අද මේ තත්ත්වයෙන් ඉන්නෙ. එයා ගැනත් වෙනමම ලිවිය යුතුමයි.
මේ කතාව කියල ඉවර වෙනකොට මම ගැන මොන විදිහට හිතයිද කියල මම දන්නෙ නැහැ. ඒත් මගෙ හිතට එකඟවයි මම මේ ලියන්නෙ. දරුවෙකුට මේ ලෝකයෙ වැඩිම ආදරයක් විඳින්න ලැබෙන්නෙ අම්මගෙන්. අම්ම සහ චූටි අම්ම් ගැන මම කිවුවනෙ මුලින්ම. මට අම්මල තුන්දෙනෙක් හිටිය. මේ කියන්න යන්නෙ මට තේරෙන විදිහට, මට දැනුන විදිහට මට වැඩියෙන්ම ආදරය කල අම්ම ගැනයි. ඒ මගෙ සුදු අම්ම. මගෙ මවගේ මව. ඇය ඇත්තටම සුදුයි, පියකරුයි. අදට අවුරුදු 14ක් ඇය අපි අතරින් ඈත් වෙලා ගිහින්. කිසිම දවසක මම ඇයට ආච්චි කියල අමතල නැහැ. මට එහෙම හැඟීමක් දැනිලත් නැහැ. සුදු අම්මට පහු කාලයකදි අම්ම කියලම අමතන්න පුරුදු උනේ ඇයගෙන් මං ලබාපු මවු සෙනෙහස නිසාම වෙන්න ඇති. මාව මේ ලෝකයට බිහි කල අම්ම ගෙදර ඉන්න වෙලාවට විතරක් ඇයට සුදු අම්ම කියල කියන්න මම පුරුදු උනා. ඒ දවස වල සමහර වෙලාවට මම "අම්මෙ" කිවුවහම අම්ම, චූටි අම්ම, සුදු අම්ම තුන් දෙනාම තරෙඟෙට වගේ "ඇයි...." කියන්නෙ.
ඒත් මට එදාටත් වඩා අදට දැනෙන විදිහට සුදු අම්මාගෙ සෙනෙහස සුවිශේෂියි. සුදු අම්මගෙ චරිතයත් සුවිශේෂියි. ඇය කිසිවෙකුට කිසිම ආකාරයකින් කරදරයක් උනේ නැහැ. කාගෙවත් ඕපාදූප හොයන්න ගියෙත් නැහැ. ඇයගේ ජීවිත කාලය තුල කිසිම කෙනෙකුගෙ හිත රිදෙන විදිහට කිසිම දෙයක් කියල නැතුව ඇති. මගෙ සීයට ( මම ඇමතුවෙ "අත්ත" කියල ) ඇය පුදුම සෙනෙහසකින් ඉඳල තියෙනව.ඒ අයගෙ ආදර කතාව මට කිවුවෙත් චූටි අම්ම.
බොහෝ කලකට පෙර බිම ඇද වැටීම නිසා ඇති වූ කොඳු ඇට පෙලේ ආබාධයක් නිසා ඇය නිවසින් පිට ගියෙ ඉතා කලාතුරකින්. ඒ ආබාධයට ඩොක්ටර්ස්ල පලදින්නට නියම කල බෙල්ට් එක නිදන කොට්ටය යට තබාගෙන සිටීම නිසා අපි ඇයට විහිළුත් කලා, "කොට්ටෙ යට තියාගෙන හිටියහම කොන්දෙ අමාරුකම් හොඳ වෙයි" කියල. සුන්දර හිනාවක් ඇරෙන්න ඇය මුකුත්ම කියන්නෙ නැහැ ඒ වෙලාවට.
ගමේ හැමෝම ඇයව ඇමතුවෙ නෝන කියල. සුදු අම්ම ඉස්සර මං ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකම් මග බලාගෙන් ඉන්නව. ගෙදර ආ හැටිය "බඩගිනියිද" කියල අහන්නෙ. මුකුත්ම නොතිබුන දවසට බතක් උයල, සම්බෝලයක් හදල කරෝල කෑල්ලක් ගිණිඅළු පල්ලෙ දාල පුච්චල අරගෙන දෙහි ටිකක් දාල දෙනව මට. මෙන්න මගෙ ආසම කෑම වේල අදටත්. මෑතකදි උනත් ඔය කෑම වේල කනකොට "උඹට ඕව පුරුදු කලේ සුදු අම්ම තමයි" කියලයි ගෙදර හැමෝම කියන්නෙ. පාඩම් කරන්න පාන්දර ඇහැරවන්න කිවුවහම පාන්දරට ඇඳ ලඟට ඇවිත් මන් නැගිටිනකම් ඔළුව අත ගගා "පුතේ නැඟිටින්න, පුතේ නැඟිටින්න" කියල කියෝනව. ඉතින් තවත් සැපට නින්ද යනව. මාව එකපාර අහැරවන්න ඇයට ඒ තරම් දුකයි. විහිලුවක් කලාම ඇයගෙ සුදුම සුදු පාට බොරු දත් කුට්ටම පෙන්නල හිනා වෙනව. මට අසනීපයක් හැදුනත් වැඩියෙන්ම කලබල වෙන්නෙ ඇය. ගෙදරට ගේන ඕනෑම් දෙයකින් මගෙ කොටස වගේම ඇයගෙ කොටසත් මං වෙනුවෙන් වෙනමම වෙන් කරගන්නව ඇය. ඊට පස්සෙ දවස ගානෙ මට ටික ටික දෙන්නෙ. ඒ කියන්නෙ අද ඔක්කොම දුන්නොත් හෙට දෙන්න දෙයක් නැති වෙන නිසා තවත් ඉල්ලුවොත් "නැහැ" කියන උත්තරේ තමයි ලැබෙන්නෙ ඇයගෙන්.
ඔළුවේ නහරයක් පිපිරීමෙන් අසනීප වෙලා රෝහල් ගතකිරීමෙන් පසුව සිහි විසඥ උන ඇය 1996 ඔක්තෝම්බර් මස 04 වෙනිද අපෙන් සදහටම සමු ගත්ත. ඒ මරණයේ වේදනාව අපට තදින් දැනුන නිසාම ඇයගේ ඇඳුම් අල්මාරියවත් ඇරියෙ නැහැ සෑහෙන දවසක් යනකම්. ඒක අස්පස් කරන දවසෙ මම වෙනුවෙන් සඟවල තියාගත්තු කෙසෙල් ගෙඩි, බිස්කට් හම්බ උනා.අදටත් සුදු අම්ම ගැන අම්ම එක්කවත් චූටි අම්ම එක්කවත් වැඩිපුර කතා කරන්න නොයන්නෙ ඒ අය ඔය හැමදේම මතක් කරකර අඬන්න ගන්න නිසා.
උතුම් මනුෂ්‍ය ගුනාංග වලින් යුත් ගැහැණුන් අතර මගේ සුදු අම්ම රැජිනක්. ඇය නිවනට ඉක්මනින්ම ලඟා වේවි. ඒත් එයට පෙර සසරේ එක් වරක් හෝ මගේම මව වෙන්න කියල මම පතනව.

මේ ඉන්නෙ අත්තයි සුදු අම්මයි.





මේ සුදු අම්මගෙ තවත් ෆොටෝ එකක්. මේ මිටි කොලු පැටිය මම තමයි. අනිත් දෙන්න නංගියි මල්ලියි.

Tuesday, September 14, 2010

කවුරු කවුරුද හොරු....?


මේ මීට අවුරුදු හතරකට විතර උඩදි මගෙ තාත්තගෙ හිතවතෙකුට ( මමත් අඳුනනව ඒ අයියව ) සිද්ද වුන සිදුවීමක්.මේ කතාව මට කීවෙ මගෙ තාත්ත. ස්ථානය තමයි කොටුවෙ බෝ ගහ ලඟ. බෝ ගහ ලඟ ඉඳල කොටුව දුම්රිය පොල පැත්තට ( ඕල්කොට් මාවත ) පේව්මන්ට් එක දිගේ ගුණසේන පොත් සාප්පුව ඇති පැත්තෙන් පයින් ඇවිදගෙන යනකොට ඔරලෝසු විකුණන තැන් කීපයක් තිබුන සමහර විට මතක ඇති. 2008 අගෝස්තු 30 වෙනිද බෝම්බයක් පුපුරාපු ( අවශ්‍යනම් මෙන්න ඒ විස්තරේ ) ඔය ඉහත ඡායාරූපයේ තියෙන,බෝ ගහ පෙනෙන මානයේ තිබුන ඔරලෝසු ලෑල්ල හුඟ දෙනෙකුට අමතක වෙන්න විදිහක් නම් නැහැ.ඔන්න සිද්ධිය උන තැන. සෙනඟ ටිකක් අඩු දවසක් එදා. වෙලාව උදේ 10.00 ට විතර ඇති. ඒත් ඔය ඔරලෝසු ලෑල්ල නිසාම එතන පේව්මන්ට් එකේ තියෙන පටු ඉඩකඩ ගාව සෙනඟ එක් රැස් වෙනව.
අපේ හිතවතත් මොකක්දෝ වැඩකට කොළඹ ආපු ගමන්. ඔය ඔරලෝසු ලෑල්ල ගාවින් යන ගමන් ඔතන තිබුන පුංචි තදබදය නිසාම චුට්ටකට නැවතිලා ඔරලෝසු ලෑල්ල දිහාවට එබුන.
සෙනඟ අතරින් කළු, මිටි, වයස 40ක විතර, පොරක් එක පාරටම අපේ හිතවතාගෙ දිහාවට කඩාගෙන පැන්න. ඒ නිකම්ම නෙමෙයි. වම් ඇහැටත් හොදට දැනෙන්න වම් කන පුරෝල කම්මුල් පහරක් දෙන ගමන්. ඒත් එක්කලම අර කොට පොර, අපේ මෑන්ව බිම පෙරල ගත්ත.සෙනඟ ටික දෙනෙක් එක් රොක් වෙන එක ඉතින් සිරි ලංකාවෙ අනිවාර්යයෙන් වෙන දෙයක්නෙ. "ඇයි මේ මට ගන්නෙ....?" කියල අහන්නත් ඉස්සර බෝ ගහ ලඟ හිටපු පොලිස් රාළහාමිල දෙන්නෙකුත් එතනට ආව.
"මේක ලෑල්ලෙන් එකක් ඉස්සුව සර්........"
එහෙම කියාගෙනම කළු කොට මෑන් අපේ මෑන්ගෙ කලිසමේ සාක්කුවකට අත දාල වටින කියන ඔරලෝසුවක් සාක්කුවෙන් එලියට අරගෙන..... ඒ ඔරලෝසුව තමන්ගෙ සාක්කුවට දැම්මෙ, කනේ පාර දීල බිම දාගත්ත වෙලාවෙ අර කළු කොට මෑන්ම තමයි කියල අපේ මෑන්ට තේරුනත් පොලිසියෙ රාලහාමිල ඉස්සරහ මේ වෙනදේ කොහොම තේරුම් කරන්නද කියල අපේ මෑන්ට වැටහීමක් නැතුව ගිහින්. අනික දීපු කනේ පාරත් උන් හිටි තැන් අමතකවෙන්නම වැදිල.
"මම ඔරලෝසුව ගත්තෙ නැහැ, මගෙ කනට ගහන ගහල බිම පෙරලගන්න වෙලාවෙ තමයි මගෙ කලිසමේ සාක්කුවට ඔය ඔරලෝසුව දැම්මෙ" කියල අර පොලිසියෙ රාළහාමිලට පුලුවන් හැම විදිහටම තේරුම් කරල දුන්නත් පොලිසියෙ රාළහාමිල දෙන්න ඒක පිලිඅරගෙනම නැහැ.
"එක්කෝ පොලිසි යමු, එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට කීයක් හරි දීල මේක ගොඩින් බේර ගන්න" පොලිස් රාළහාමිල දෙන්නගෙම පිළිතුර ඒක. පොලිස් රාළහාමිල දෙන්නගෙ හැසිරීමෙන් මේ "ඔරලෝසු සහ කලිසම් සාක්කු" සෙල්ලම ඒ අය දන්න සෙල්ලමක් කියල සැක හිතුන නිසාම ඒ අයගෙ නිල ඇඳුමෙ තියෙන අංකයන් දිහා බැලුවත් ඒවා පපුවට තද උන ලොකු ඩයරි වලින් වැහිල.
පොඩි හරි සහනයක් බලාපොරොත්තුවෙන් අතේ තිබුන ජංගම දුරකතනයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කතා කලත් පිළිතුර උනේ "පොලිසියෙ දෙන්නෙක් ඉන්නවනම් ඒ අය එක්ක පොලිසියට ගිහින් විසඳා ගන්න" කියලයි.
ඒකෙන් වෙන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනවාටත් වඩා වැඩි දෙයක් කියල අපේ මෑන් තේරුම් අරගෙන ඉවරයි ඒ වෙනකොටත්.
රාළහාමිල දෙන්න කතා කරල තියෙන්නෙම අර ඔරලෝසු වෙලෙන්දන්ගෙ පැත්තට. අන්තිමට කොහොම හරි ගෙදර එන්න රුපියල් පනහක් තියාගෙන පර්ස් එකම හූරල හූරල රුපියල් හත්සිය ගානක් අර කළු මිටි පොරට දීල. අන්තිමට අපේ මෑන් එතනින් පිටත් වෙලා ගෙදර එන්න පිටත් උනා.
"හවස් වෙලා ගෙදර එනකොටත් කන හෝ.... ගානව. ඒ මදිවට මූනෙ වම් පැත්ත ඉදිමිලා තිබුන. වම් ඇහැත් රතු වෙලා තිබුන"මේ සිද්ධියෙ අවසන් ප්‍රතිඵලය ගැන අපේ තාත්තට කියල තිබුනෙ එහෙම.
පේව්මන්ට් එකේ හෝ වේවා වෙන කොහෙදි හෝ වේවා ජඩ වැඩ වෙනව තමයි. ඒව නවත්තන්නත් ඔන තමයි. ඒත් ඒවට පොලිස් නිලධාරීනුත් සම්බන්ධනම්..........
වැදගත් -
( යහපත් කල් ක්‍රියාවෙන් අවංකව රටට ජනතාවට සේවය කරන පොලිස් නිලධාරී මහතුනි, මේ චෝදනාව ඔබට නොවේ.)

Wednesday, September 1, 2010

තනි වූ ඇය සහ තනි වූ අය ......


ඒ අම්ම දුක හංගාගෙන සතුටින් හිටියෙ. ඒක මේ හැමෝටම පොදු දෙයක්. හැමදාම එයා උදෙන්ම ඇහැරෙනව. එයාගෙ කාමරේ ඉදල එලියට ඇවිත් මේ කොරිඩෝව දිගේ ඇවිදගෙන ගිහින් එළියට බහිනව. ඊට පස්සෙ හිමි හිමිහිට යනව මීටර් තිහක් හතලිහක් විතර ඈතින් තියෙන ගේට්ටුව ගාවට. ඒ ගිහින් එතන තියෙන මල් පඳුරු අතර සක්මන් කර කර ඉන්නව. ඒ ඉන්න ගමන් පාර දිහා සැරින් සැරේ එබි එබී බලනව. එයා හොඳට අඳුනනව ගේට්ටුව ගාවින් හැමදාම උදේට යන සුදු පාට කාර් එක. එයා ඒ සුදු පාට කාර් එක ඈත තියා දකිනකොට ටිකක් කලබල වෙනව. ඉක්මනට අර මල් පඳුරු වලට මුවා වෙලා ගේට්ටුව පහු කරගෙන යන කාර් එක දිහා බලාගෙන ඉන්නව. ඊට පස්සෙ එතන තියෙන, ඒ තරම් උස නැති ගල් බැම්ම උඩ වාඩි වෙලා ටික වෙලාවක් කල්පනා කර කර ඉන්නව. එහෙම ඉදල ආපහු තමන්ගෙ කාමරයට යනව.
හවසටත් එක වෙලාවක් තියෙනව මේ විදිහට ගේට්ටුව ගාවට යන. ඒ තමයි උදේ ගිය කාර් එක ආපහු අනිත් පැත්තට යන වෙලාව.....
මෙයත් එක්ක ඉන්න අනිත් අය වගේම මමත් මේ සිද්ධිය දැකල තියෙනව. අපි කවුරු හරි මේ අම්මගෙන් "අර සුදුපාට කාර් එක" ගැන ඇහුවහම සුන්දර හිනාවකින් පිළිතුරු දෙනව ඇරෙන්න වෙන කිසි දෙයක් කියන්නෙ නැහැ. මේ අම්ම මීට සති දෙකකට විතර උඩදි අන්ත්‍රා උනා. එයාගෙ අවසන් කටයුතු රජයේ වියදමින් කලා.
ටික දවසකින් අපිට ආරංචි උනා මේ සුදු පාට කාර් එකේ යන්නෙ රජයේ වෛද්‍ය වරයෙක් කියල.ඒ අර මියගිය අම්මගෙ එකම පුතා.... මරණය කියන එක මේ අයට ගොඩාක් දුක හිතෙන දෙයක් නෙමෙයි. එයාල මෙතන ඉන්න ටික කාලෙට මරණ කීයක්නම් දකිනවද...............

මේ කතාව අපිට කිවුවෙ මීරිගම තවලම්පිටිය රජයේ වැඩිහිටි නිවාසයේ පාලනාධිකාරී තුමා. දිනය 2008 වෙසක් පොහොයට පසුදා. අපි මේ වැඩිහිටි නිවාසයට ගියා. අපි කිවුවෙ අපේ ගමේ කොල්ලො ටික. අපේ ගමේ කොල්ලො කට්ටියගෙම සංවිධානයෙන් (බොහෝ සම්බන්ධීකරන කටයුතු ආසිරි මල්ලි විසින් ඉටු කලේ) ගමේ හැමෝගෙම උදවුවෙන් අපි මේ වැඩිහිටි නිවාසෙට වසරක් පාසා දහවල් කෑම වේලක් පිරිනමනව. හවසට ස්වාමීන් වහන්සෙ කෙනෙක් වැඩම කරවීමෙන් පුංචි ධර්ම දේශණාවකුත් පවත්වනව. පුංචි තුවාල වලට බෙහෙත් දාන්න ඕන කරන බෙහෙත් වර්ග, වේදනා නාශක පෙති සහ බාම් වර්ගත් අපි අරගෙන ගියෙ.
මේ අයට කෑම වේලටත් වඩා වටින්නෙ අපේ පැමිනීම නේද කියල ඒ අයගෙ කතා බහෙන් වගේම වැහැරී ගිය මුහුණු වල ඇඳුන අව්‍යාජ සිනහවෙන් අපි හැමෝට තේරුනා. අපේ දෙමව්පියන්, ගමේ වැඩිහිටියො, අපේ පුංචි ගමේ කඩමංඩියෙ තියෙන කඩ කිහිපයක ව්‍යාපාරිකයො වගේම වාහන සැපයීමෙන් වාහන අයිති කිහිප දෙනෙකුත් අපට ලොකු සහයක් දුන්න. ගමේ හුඟ දෙනෙක් එදාට මේ වැඩිහිටි නිවාසයට යනව. මේ වසරෙත් පොසොන් පෝයට මේ කටයුත්ත සිදු කෙරුන. (මම 2008 අග භාගයේ විදේශගත උනා. ඉතින් මට 2008න් පස්සෙ මේ කටයුත්තට සහභාගි වෙන්න බැරි උනා.) එතන වැඩිහිටියන් වගේම මන්ද මානසික අයත් ඉන්නව. ඔක්කොම 350ක් විතර.

ඇත්තටම මේ කටයුත්ත හිතන තරම් අමාරු නැහැ. අවශ්‍ය වෙන්නෙ හැමෝගෙම එකමුතුව විතරයි. ගෙදරකින් එක ව්‍යයාංජනය ගානෙ හදල ලොකුවට බතක් උයා ගත්ත. කලින් දවසෙ රාත්‍රියෙ පටන්ගත්ත ෆුඩ් සැලඩ් එකේ වැඩෙත් කොල්ලො කෙල්ලො හැමෝගෙම සහයෙන් කෙරුන. වැඩේ බොහොම අපූරුවට සිද්ධ උනා.

මේ තරම්ම කට්ටිය නැතත් පුංචි පුංචි වැඩිහිටි නිවාස රට පුරාම තියෙනව. මේවායින් සමහරක් නඩත්තුවට රජයෙන් වගේම නොයෙක් සංවිධාන වලින් මුදල් ලැබෙන බව ඇත්තයි. ඒත් ඒ මුදල් සම්පූර්ණයෙන්ම වැඩිහිටියන්ගේ නඩත්තුවටම යනවද කියන එක සැකයි.
අනික මුදල්, කෑම බීම, ඉන්න හිටින්න සුව පහසු තැනක් ලැබුනාටම නොලැබෙන දෙයක් අපිට එක දවසකට හරි ඒ අයට දෙන්න පුලුවන්. අපි දුන්නෙ එක දවසකට උනාට පුලු පුලුවන් හැමෝම මේ විදිහට සංවිධානය වෙනවනම් වසරකට දවස් ගනනාවක් ඒ අයට අපේ ඇසුර, ආදරය, කරුණාව හිමි වේවි. ඒ අය මොහොතකට හරි සතුටින් හිඳීවි.

අපි කොයි තරම් දේවල් අපේ සතුට වෙනුවෙන් සංවිධානය වෙලා කරනවද.......
උත්සාහ කලොත් බැරි නැහැ මෙහෙම වැඩ කටයුත්තක් සාර්ථක කරගන්න. මම මුලින්ම ලියල තියෙන ඒ අම්මගෙ කතාව වගේ තව කතා සිය දහස් ගනනක් ඇති අපි අහලම නැති..........

යන්න....... අහන්න ඒ අයගෙ කතාවත්........
අහලම බලන්න කොයි තරම් දුක්මුසු තැන් තියෙනවද කියල.......

ලිපියේ ඉහලින්ම තියෙන ඡායාරූපයත් සමඟ ලිපියේ පහලින් තියෙන්නෙ 2008-05-18 දින මගේ කැමරාවේ සටහන් උන, මම සහ මගේ යාළුවන් විසින් ගන්නා ලද ඡායාරූප කිහිපයක්.






Thursday, August 26, 2010

දේශපාලනේ හැටි බං ඔහොම තමයි


  1. සල්ලියි නම්බුවයි උපතින් හිමිවීලා
    ඇත දැන් අඩු බලය විතරයි සිහි වීලා
    ලඟ එන සමූපයෙ ඡන්දය ඉල්ලාලා
    "බලනව බලය කොහොමද ?" මුට්ටිය දාලා

  2. කාරක සභා කට්ටිය හමු වී මෙහෙම
    කියනව "උපරිමෙන් කරනව ආවහම"
    කොහොමින් කොහොම හරි ඡන්දෙන් ගෙන දිනුම
    පුටුව හිමි උනා සමිතියෙ මහ තැනම

  3. ඉඳගෙන හිටිය ටික දවසක් මෙහෙම්මම
    හැඟෙනව "අනේ ගැම්මක් නැහැ මට කිසිම"
    හිත හිත ඉන්න කොට ටික දවසක් මෙහෙම
    පුන්චි ඡන්දෙ ගැන කසු කුසු හැම තැනම

  4. "ප්‍රාදේශිකේ පැන ගත්තොත් ගොඩම තමයි
    පුංචි පහේ වැඩ ටිකකුත් ගමට කෙරෙයි
    මෙහෙම ඉන්නවට වැඩියෙන් ඒක හොඳයි
    ලොක්කා හමුවෙලා කිව්වොත් වැඩේ කෙරෙයි"


  5. "පලාත් සභාවේ ලොක්කත් මට කැමතියි
    නොමිනේෂන් ෂුවර් මම දැන් ගොඩම තමයි
    පටන් ගනිමු වැඩ ටික අද හෙටම ළමයි
    මගෙ මේ උත්ත්සහය ගම වෙනුවෙන්ම තමයි"


  6. බැනර් ගහල ගම හැම තැන සරසනවා
    පෝස්ටර් වලින් තාප්ප වනසනවා
    තැන තැන පුංචි රැස්වීමක් අමතනවා
    ගෙන් ගෙට ගොහින් "දෙන්නකො මට" පවසනවා

  7. පොඩි පොඩි සිද්දි සිදු වූවත් ගම මැද්දේ
    ලොකු ලොකු ආරවුල් නැහැ මේ පොඩි ඡන්දේ
    ගමේ හැමෝගෙම සහයෝගය මැද්දේ
    ඇහෙනව හැමතැනම අත්පොලසන් සද්දේ

  8. ඔන්න ඉතින් පොඩි ඡන්දෙන් ගොඩ යනවා
    පොඩි ගතියක් ඇතිව පුටුවක ඇල වෙනවා
    ඡන්දෙට ගිය මුදල් ගැන හිත කකියනවා
    "ප්‍රතිපාදන මුදල්" ගැන දැන් ඇහැ යනවා

  9. "බෝක්කුව හදමු ගානක් තියාගෙන"
    "පාරට තාර දාමුකො දී මගෙ ගාන"
    "කුණු ටෙන්ඩරේ උඹ ඇදපන් හැමදාම
    හැබැයි බං රජෝ අමතක නොකර මම"


  10. "ලොකු පුටු වල ඈයො මෙහෙමද ගහ ගන්නේ
    වැවකින් දිය දෝතක්නෙ අයියෝ මම ගන්නේ
    මීයක් කඩා අත ලෙව කා පල නැහැනේ"

    මෙහෙම හිත හිතා යහමින් ගහ ගත්නේ

  11. ඔන්න ඔහොම කාලය ගතවී යනවා
    ගහ ගත්තා උනත් ගම තුල වැඩ වෙනවා
    මේ හින්දාම නම ගම තුල බැබලෙනවා
    පළාත් සභා ඡන්දෙත් ලඟ ලඟ එනවා

  12. "ට්‍රයි කරලා බලමු ලොකු පුටුවක් ගන්න
    බැරි වෙන එකක් නැහැ කඩ ඉම පැන ගන්න"
    චිට් එක ලැබෙනවා ඡන්දය ඉල්ලන්න
    කට්ටිය සෙට් උනා ඡන්දෙන් ගොඩ යන්න

  13. පොඩි එක වගෙ නෙමෙයි මහ එක ජය ගන්න
    ලොකු ලොකු වැඩ ගොඩයි මුදලුත් නැහැ ඔන්න
    "මතකනෙ කරපු දේවල් උඹලට ඔන්න
    කෙරුවොත් උදවු මම දන්නව සලකන්න"

  14. බැනර් පෝස්ටර් පලාත බබලනවා
    පාට කිහිපයක් සටනට පිවිසෙනවා
    මනාප පොරයත් ජයටම සිදු වෙනවා
    ලොකු උන් ඉල්ලන්නෙ පොඩි උන් ගුටි කනවා

  15. ගම විතරක් නෙමෙයි පලාත හොල්ලනවා
    මීටින් ගොඩයි ලොක්කත් ඒවට එනවා
    මිතුරන්ගේ මුදල් ඡන්දෙට පිච්චෙනවා
    ඔන්න ඉතින් ඒ ඡන්දෙත් ගොඩ යනවා

  16. මන්ත්‍රී තුමා ගැන හැම තැන රැව් දෙනවා
    සහය දුන්න හැම සතුටින් ඉපිලෙනවා
    කළගුණ සලකන්න වාරය එලඹෙනවා
    බැඳගත් බෙරේ තාලයකට හඬ දෙනවා

  17. පොඩි තැන වගෙ නොවෙයි මේ තැන හරිම බරයි
    ප්‍රතිපාදනද, බදු සල්ලිද ජයට ලැබෙයි
    යටි මඩි, ජරා, ජඩ වැඩ අඩු වැඩිව කෙරෙයි
    හැමගේ උදවුවෙන් ඇදගෙන නාන හැඩයි

  18. "හන්දියෙ බාර් ප(ර්)මිට් එක මට දෙන්න"
    "වැලි ගොඩ දාන්නට මට අවසර දෙන්න"
    "අලුතෙන් හදන බිල්ඩිමෙ කඩයක් දෙන්න"
    තව වැඩ කෝටියයි කළගුණ සලකන්න

  19. "පාලම හදමු මට ගානක් තියාගෙන"
    "බස් ප(ර්)මිට් එකට කීයද මගෙ ගාන"
    "බිල්ඩින් එක ලොකුයි පාසලකට හදන
    කොන්ට්‍රැක්ට් එකට ලැබෙනව නොවැ මගෙ ගාන"

  20. පන්සල පල්ලියට කෝවිල හැම තැනට
    මරණෙට මගුලකට විවෘත කෙරුමකට
    අවුරුදු උත්ත්සවේ, අර මේ හැම එකට
    සල්ලි ඔහොම හෙව්වා ටික කාලෙකට

  21. දූෂණ, නාස්තිය, වංචා කනින් කොනින්
    ඇහෙනව උනත් ගානක් නැහැ ඒත් ඉතින්
    "ගෙයක් දොරක් වාහනයක් ගන්න ඉතින්
    සල්ලි නැතිව කොහොමද මම ඉන්නෙ තුටින්"


  22. වසර කිහිපයක් ගෙවුනා මේ ලෙසට
    ගම රට දන්න මිනිසෙකි මන්ත්‍රී කමට
    පේන්නනම් ලොකු වරදක් නැහැ පිටට
    දන්නෝ දනිති කරණා ටික ඔහු රටට

  23. පා(ර්)ලිමන්ට් එකේ කාලය හරියනවා
    විසුරුවා හැරල ඡන්දෙට දින දෙනවා
    අපේ උන්නැහෙත් තොල කට ලෙව කනවා
    අංකය ලැබෙනවා ඡන්දය ඉල්ලනවා

  24. හිතවත් ඈයො අත දිග හැර දෙයි සල්ලී
    දීලා කියනවා "සලකාපන් මල්ලී"
    මරුමුස් බුවාලත් හොඳ හොඳ දන්න කෙළී
    කට්ටිය සෙට් වෙලා ඡන්දෙට හරිම ජොලී

  25. තැන් තැන් වලදි පොඩි පොඩි වලි දාගන්න
    කඩු පොලු කිණිසි මදි මේ හැම හසුරන්න
    ස්වයංක්‍රීය බඩු තියෙනව ගස්සන්න
    ඔය හැම දේම හරි වටිනව ගොඩ යන්න

  26. මීටින් දිනෙන් දින පලාතෙ හැම තැනම
    මඩ ගහනා සේම කයිවාරුත් බොහොම
    "එක එක හෙන්චයියො කෑගැහුවත් කොහොම
    මම ඉටු කරනවා මගෙ යුතුකම පරම"


  27. ජර මර අස්සෙ මහ මැතිවරණෙත් අවසන්
    ඡන්ද ප්‍රතිඵලෙත් ආවා ඔන්න ඉතින්
    සමහර හිත් රිදිල, සමහරු නටති තුටින්
    අපේ උන්නැහෙත් දිනනව ඉහට උඩින්

  28. දැන්නම් වැඩ ගොඩයි බේරිල්ලක් නෑනේ
    වාදෙට විවාදෙට කරුණුත් ඕනෑනේ
    වාහන ගෙවල් නිල නාමෙට ලැබුනානේ
    ඒ හැම අස්සෙ සලකන්නත් ඕනෑනේ

  29. මරුමුස් බුවාලට ජොබ් එක සෙට් වෙනවා
    නෑදෑ හිතවතුන් ජාමෙට ගොඩ යනවා
    ඇල්ලූ පන්දමෙන් ලොකු එලියක් එනවා
    එහා පැත්තෙ ජීවිත කළුවර වෙනවා

  30. ඉඳල හිටල රට සවාරි සෙට් වෙනවා
    නයිට් ක්ලබ් එකට ඉඳ හිට රිංගනවා
    කෑම වගේමයි ජරාව දිරවනවා
    බලා ඉදිද්දී ඇඟ පත පිම්බෙනවා

  31. "ඕ.අයි.සී කවුද මේ පොලිසියෙ ඉන්නා
    උදේ ඇල්ලුවද අර අහවල් දෙන්නා ?"

    "ඇල්ලුව සර් කසිප්පු සහ උන් දෙන්නා"
    "නිදහස් කරනු ! ගන්නෙ නැතුව මල පන්නා"

  32. මුල් ගල් තියනවා ඒවා පැල වෙනවා
    එක දෙක හැදෙනවා ජරාව වෑහෙනවා
    එකෙකුට එකෙක් නොදෙවෙනි ලෙස වැඩ දෙනවා
    අපේ උන්නැහෙගෙ හොඳ කල එළඹෙනවා

  33. ඇමති කම් ලැබිල දැන් හරි සරු සාරයි
    කොමිස් කුට්ටි වල බර දැන් හරි ඉහලයි
    "රටට පෙර තමන්" ආදර්ශය බබලයි
    දේශපාලනේ හැටි බන් ඔහොම තමයි

  34. තියෙනව ලියනවානම් තව කරුණු ගොඩක්
    ඒවා නොලිව්වොත් එය මහ හිතට බරක්
    එනවා අරන් තව කවි පද පේළි ටිකක්
    කංචුගෙ බ්ලොග් එකෙන් හමුවෙමු නැවත වරක්

    සටහන:-
    අනුපිළිවෙල කොහොම උනත්
    කොයි කඩ ඉම මග ඇරුනත්
    සිරිලංකාවේ කවුරුත්
    දන්න දෙයක් එදත් අදත්

    හෙටයි කියල වෙනසක් නෑ
    සිද්ධ වේවි හැමදාමත්
    වෙනස් උනොත් බැරි වීවත්
    කලක් යාවි මේ රටටත්

Friday, August 13, 2010

කම්බ හොරු 02 ( මැණික් පැන්නීම )


මේ සිදු වීමත් අර රත්‍රන් අලි හොරකම සිදු උන කාලෙදිම සිදු වෙච්ච හොරකමක්. මේ හොර දෙටුවන්ගෙ විශේෂ දක්ෂකම තමයි අපි හැමෝම නොදකින පැත්තක් ගැන හොරා විසින් සම්පූර්ණ විශ්වාසයකින් හොරකම සිදු කිරීම.
මේ සිදුවීමට අදාල ප්‍රදේශයනම් රත්නපුර. රත්නපුර නගරයේ ඉහල ආරක්ෂාවක් තියෙනව වගේම, නගරයේ තියෙන සෑම මැණික් කඩ සාප්පුවක්ම තම තමන්ගෙ ආරක්ෂාව ගැන දක්වන්නෙ බොහොම ලොකු උනන්දුවක්.
දවසක් මේ එක මැණික් සාප්පුවකට උදේ පාන්දරම සාප්පුව ඇරපු ගමන්ම වගේ ජැන්ඩි පහට ඇඳගත්තු තරුණ හාදයෙක් ගොඩ උනා.
"මට ලක්ෂ 50 ක් විතර වටින මැණිකක් ඕන කරල තියෙනව. මගෙ යාලුවෙක් අඳුනන ජර්මන් කපල් එකක් ලංකාවට ඇවිත් ඉන්නව. එයාලට තමයි මැණික ඕන කරන්නෙ. යාලුව මට කිවුව ගානක් තියාගෙන හොඳ එකක් බලන්න කියල."
මේ හාදය චුයින්ගම් එකක් හපන ගමන් තමන් පැමිණි කාරනාව සාප්පුවෙ අලෙවි සේවකයින්ට පැහැදිලි කලා.
ටිකක් වෙලා කතා බහ කර හිටියහම සාප්පුවෙ අයට තේරුනා මේ මෑන්ට මැණික් ගැන හොඳ දැනුමක් තියෙන, මැණික් බිස්නස් කරල හොඳට පුරුදු පොරක් බව.
"මේ රාක්ක වල තියෙන්නෙ වටිනාකම අඩු ඒව. අපි අතුලෙ තියෙන රූම් එකට යමු. අපේ වටින මැණික් තියෙන්නෙ එතන." එහෙම කියල සාප්පුවෙ ඉන්න සේවකයෙක් මේ තරුණයාව ඇතුලට එක්ක ගියා.
කොහොමින් කොහොම හරි වටිනා කියන මැණික් ගල් කිහිපයක් තෝරා, ඒවායින් එකක් මිලදී ගන්න මේ දැන්මම ඉතා ඉක්මනින් මුදල් රැගෙන නැවත පැමිණෙන බව කියන ගමන් මේ තරුණය යන්න හැදුව.මේ අතරෙදි තමන් ආරක්ෂිත තැන් වලින් එලියට ගත්ත මැණික් නැවත අහුරමින් සිටි සාප්පුවෙ අයට තේරුනා ලක්ෂ 50කටත් වඩා වටින එක් මැණිකක් අඩු බව.
" මම ආවෙ බිස්නස් එකක් කරන්න මිසක් හොරකම් කරන්න නෙමෙයිනෙ." සාප්පුවෙ අයගෙ මූලික ප්‍රශ්ණ කිරීම් හමුවේ තරුණය දුන්නෙ එහෙම පිලිතුරක්. ඒ පිලිතුරෙන් සෑහීමකට පත් නොවුන සාප්පුවෙ හිමිකාර මෑන් මේ තරුණයගෙ ඇදුම් ගලවල චෙක් කරන්න තීරනය කලා. මුලින් ටිකක් අකමැති උනත් තමන්ගෙ නිර්දෝශී බව ඔප්පු කරන්න තරුණය ඒ තීරනේට එකඟ උනා. ඒත් මැණික හම්බ උනේ නැහැ.
මැණික ගිල්ල වෙන්නත් පුලුවන්. එහෙම සැක කරල අන්තිමට x-රේ එකක් අරගන්න තැනට වැඩේ දුරදිග ගියා. ඒකත් කරල අන්තිමට තරුණය මැණික ගිලල නැති බවත් තහවුරු කර ගත්ත.
"අපිට ඔයාව සැක කරන්න උනාට සමාවෙන්න.අපේ අයගෙ අතින් කොතන හරි වැරැද්දක් වෙලා ඇති. මහත්තය ඕන වෙලාවක ඇවිත් අපෙන් බඩු ගන්න. අපි අඩු කරල දෙන්නම්." සාප්පුවෙ හිමිකරු එහෙම කිවුවෙ තව දුරටත් මේ තරුණයාව සැක කරන එක තේරුමක් නැති දෙයක් කියල හොඳින්ම තේරුම් ගත්ත නිසාමයි.තරුණය පිටත්ව ගියාට පස්සෙත් නැති වුන මැණික හෙවුවත් හොයාගන්න බැරි උනා.
දවස් කිහිපයක් ගෙවිල ගියා.
" අපරාදෙ .... එදා බිස්නස් එක ගහල ගියානෙ. බලමු අදත් ටිකක් වටින එකක් "දවසක් උදෙන්ම මෙහෙම කියාගෙන අර තරුණ පොර මැණික් සාප්පුවට ගොඩ උනා.සාප්පුවෙ අයටත් අවිස්වාස කරන්න දෙයක් නැති නිසා සාප්පුව ඇතුලෙ වටිනා මැණික් තියෙන කොටසටම මේ තරුණයව කෙලින්ම අරගෙන ගියා.
"අද මගෙ කස්ටමර්ට හරියන ගලක් මෙතන නැහැ. මට පොඩ් එකක් ඕන කරලත් තියෙනව. බලමු පොඩි ගලක්"මෙහෙම කියපු පොර මේ සාප්පුවෙන් ලක්ෂ 3 1/2 කට පොඩි මැණිකකුත් අරගෙන යන්න ගියා.
මෙහෙම කාලය ගෙවිල ගියා. සාපිපුවෙ හිමිකරු ලක්ෂ 50 මැණික ගැන අදහස අත්හැර ගත්තෙ වෙන කරන්න දෙයක් නැති නිසාමයි. සති කිහිපයකට පස්සෙ මේ මැණික් සාප්පුවෙ අය ඔක්කොම එකතු වෙලා සාප්පුව අස්කරන්න ගත්ත. එහි වැඩ කරන සේවකයෙක් අහම්බෙන් දැකපු දෙයක් සාප්පුවෙ හිමිකාර මෑන්ට පෙන්නුව. ඔන්න එතකොටයි සති කීපයකට උඩදි ලක්ෂ 50 මැණිකට උන දේ හැමෝටම තේරුනේ.
සාප්පුව අතුලෙ වටිනා මැණික් තියෙන කොටසෙ තිබුන මේසයක යට පැත්තෙ අලවල තියෙන චුයින්ගම් එකක මැණිකක සළකුණු යස අගේට සටහන් වෙලා තියෙනව.දෙවෙනි පාරට ලක්ෂ 3 1/2 මැණික ගන්න ඇවිත්, අරගෙන ගිහින් තියෙන්නෙ ඒ ලක්ෂ 3 1/2 මැණික විතරක් නෙමෙයි කියල කාට කාටත් තේරෙනකොට.......
මේකත් සත්‍ය සිදුවීමක්.මේ සිද්දියත් කියවපු පත්තරේ මතක නැහැ වගේම ඒක වාර්තා කලේ කවුද කියලත් මතක නැහැ....
අන්තිමේදි කියන්න තියෙන්නෙ "අපිට මේව හොඳ පාඩම්" කියල තමයි ඉතින් නේද??

Saturday, August 7, 2010

කම්බ හොරු 01 - ( අලි හොරකම )


මේ කතාවට අදාල ප්‍රදේශය ටිකක් නාගරිකයි.... මේ නගරයේ තිබුන උකස් මධ්‍යස්ථානයකට දවසක් තරුණයෙක් ගොඩ වැදුන... ඊ ලගට තරමක් බර පාර්සලක් බොහොම පරිස්සමට කවරයකින් එලියට අරගෙන උකස් මධ්‍යස්ථානයේ කවුන්ටරයට ඉදිරිපත් කලා... මේ වෙලාවෙ කවුන්ටරයෙ හිටියෙ මේ උකස් මධ්‍යස්ථානයෙ අයිතිකරුමයි.මෙයාට රත්‍රන් බඩු කඩයකුත් තිබුන ඒ ටවුන් එකේම.
"අයිය.. මට මේකට ලක්ෂ 5 ක් ගන්න පුලුවන්ද? "
ඒක රනින් නිම කල අලියෙකුගේ අනුරුවක්. කඩයේ අයිති කාර මෑන් රන් අලියව අතට ගත්ත.
" කොහොමද මම මේක චෙක් කරන්නෙ? රත්‍රන් ගාලද දන්නෙ නැහැනෙ. ඇතුල රත්‍රන්ද කියල සූරල බැලුවත් හොයාගන්න බැහැ සමහර විට. හරියටම චෙක් කර ගන්න ගැඹුරට සිදුරක් විදින්න ඕන. "
අලිය අරගෙන ආපු පොර මුලින් ටිකක් අදි මදි කලත් පස්සෙ වැඩේට කැමති උනා.
"වෙන කරන්න දෙයක් නැත්නම් ඒක කරමු. මට සල්ලි හදිස්සියි."
කොහොමින් කොහොම හරි අන්තිමේදි දෙන්නගෙම කැමැත්තෙන් අලියගෙ බඩ මැදින් ටිකක් ඇතුලට විදල අලිය දඹ රත්‍රන් බව තහවුරු කර ගත්ත.ඊ ගාවට තවත් ප්‍රශ්නයක්....
"මේකෙ බරට, අපේ රේට් එක්ට ඔයාට දෙන්න පුලුවන් ලක්ෂ 3 1/2 ක් විතරයි මල්ලි " කඩයේ අයිති කාර මෑන් එහෙම කියුව.
"බෑ බෑ අඩුම ගානෙ මට ලක්ෂ 4 1/2 ක් වත් ඕන." අලිය අයිති පොරත් අප්සෙට් එකෙන් කිව්ව.
ඒත් උකස් මධ්‍යස්ථානයෙ අයිතිකරු කිවුවෙම ලක්ෂ 3 1/2 වැඩිය දෙන්න බෑ කියලමයි.
"දෙන්නකො ඔය අලිය, මම තව තැන් කිහිපයකින් අහලම එන්නම්." තරුණය අලියත් අරගෙන පිටත් උනා.
"ඔය ගියාට ආපහු එයි. අනිත් තැන් වලින් ඔය ගානවත් දෙන්නෙ නැහැ." උකස් කඩේ අයිතිකරු තමන්ටම එහෙම කියා ගත්තෙ, තමන් දෙන්නට හැදූ මුදල ඉතා සාධාරණ බව දන්න නිසාමයි.
පැය බාගයක් විතර යනකොට අර තරුණය මූණ ඤොරොක් කරගෙන ආපහු අර උකස් මධ්‍යස්ථානයටම ආව.
" අනිත් තැන් වලින් දෙන්න කැමති උපරිම ලක්ෂ 3 යි. ලක්ෂ 3 1/2 ක් දෙන්න කැමති උනේ අයිය විතරයි. ඒකවත් දෙන්න. මට සල්ලි හදිස්සියි."
"ඒකනෙ මල්ලි, මගෙ ගාන සාධරණයි "
ඉහේ පිපුන මල් ටික පරිස්සමට අත ගානව තරම් පරිස්සමට අලියව අතට ගත්තු කඩයේ අයිති කාර මෑන් අලියගෙ බඩ මැද විදපු සිදුර දිහා බලන ගමන් සිහින් සිනාවක් දැම්ම. ගනු දෙනුව ඒ විදිහට අහවර උනා..............
ටික කාලයක් ගත උනා. රත්‍රන් අලිය සින්න උනා. සින්න උන දඹ රන් අලියා උනු කර රත්‍රන් බඩු හදන්න තමන්ගෙම රත්‍රන් බඩු කඩයට රත්‍රන් ආභරණ සාදන අයට බාර දුන්න.
උකස් මධ්‍යස්ථානයෙ අයිතිකරුට දෙලෝ රත් වූවේ එවිටයි. රත්‍රන් අලියා පිත්තල වී ඇත. ඒත් රත්‍රන් අලියාගේ බඩ මැද සිදුරත් එහෙමමයි.
ටිකක් හිතල බලන කොටයි වැඩේ තේරුනේ.
අර රත්‍රන් අලිය උකස් කරන්න ආපු තරුණය සැබෑ රත්‍රන් අලියෙකු අරගෙන ඇවිත් එය නියම රත්‍රන් බව ඔප්පු කරල, ලක්ෂ 3 1/2 ක් මදි කියල ඒ රත්‍රන් අලියා ආපහු අරගෙන ගියානෙ. ඒ ගිහින් කරල තියෙන්නෙ ඒ හා සමාන රත්‍රන් ආලේප කරපු පිත්තල අලියෙකුගේ බඩ සිදුරු කරල, එම පිත්තල අලියා අරගෙන ඇවිත් ඒක උකස් කරල. මේ ටික උකස් මධ්‍යස්ථානයෙ අයිතිකරුට තේරෙන කොට.....


සෑහෙන කාලෙකට ඉස්සර සිදු වුන සත්‍ය සිදුවීමක් මේක. කියවපු පත්තරේ මතක නැහැ වගේම ඒක වාර්තා කලේ කවුද කියලත් මතක නැහැ...මතක තිබුන ටිකට වචන ගැලපුව ඔන්න. හොරකම් කරන ක්‍රම වල නවමු සංකල්ප බොහොමයක් අපිට හොඳ පාඩම්. එහෙම නේද??

Monday, August 2, 2010

විසිල් එකක්... මලා හුටා.....


විසිල් එකක්... මලා හුටා.....
ලයිසන් එක...?
මෙන්න සර්...
ඉන්ෂූරන්ස්...?
මෙන්න සර්...
කොහෙද යන්නෙ...?
හයර් එකක්...
කෙල්ලො ටිකක්....?
ගාමන්ට් එකෙ...
හැට හතරයි....
තාම තිහයි....
වේගෙ ඕයි....
වැඩිද සර්....?
ඒක තමයි...
ඉතින් සර්.....?
එකේ ඉදන්....
ඉතින් සර්.....?
දැන් පහයිනෙ...
ඉතින් සර්.....?
වතුරත් නැහැ...
ඉතින් සර්....?
දඩේ ලොකුයි....
ඒක තමයි....
හිතන්නෙපා පගා දෙන්න....
ජීවිතේට දීලත් නැහැ....
දඩේ ලොකුයි....
ඒක තමයි....
ලියමු දඩේ....
අනේ සර්....
හිතල බලමු....
එලනෙ සර්....
දැන් පහයිනෙ....
ඉතින් සර්.....?
වතුරත් නැහැ...
ඉතින් සර්....?
දඩේ ලොකුයි....
මේක ගන්න.....
එහෙම හොඳයි....
හික්..හික්..හික්..
සීයද බං.....?
අනේ සර්....
හ්ම්...හ්ම්...
ලයිසන් එක...?
මෙන්න ගනින්...
ඉන්ෂූරන්ස්...?
මෙන්න ගනින්...
යන්නම් සර්....
හ්ම් පලයන්....
විසිල් එකක්... මලා හුටා.....
Related Posts with Thumbnails