
මේ මීට අවුරුදු හතරකට විතර උඩදි මගෙ තාත්තගෙ හිතවතෙකුට ( මමත් අඳුනනව ඒ අයියව ) සිද්ද වුන සිදුවීමක්.මේ කතාව මට කීවෙ මගෙ තාත්ත. ස්ථානය තමයි කොටුවෙ බෝ ගහ ලඟ. බෝ ගහ ලඟ ඉඳල කොටුව දුම්රිය පොල පැත්තට ( ඕල්කොට් මාවත ) පේව්මන්ට් එක දිගේ ගුණසේන පොත් සාප්පුව ඇති පැත්තෙන් පයින් ඇවිදගෙන යනකොට ඔරලෝසු විකුණන තැන් කීපයක් තිබුන සමහර විට මතක ඇති. 2008 අගෝස්තු 30 වෙනිද බෝම්බයක් පුපුරාපු ( අවශ්‍යනම් මෙන්න ඒ විස්තරේ ) ඔය ඉහත ඡායාරූපයේ තියෙන,බෝ ගහ පෙනෙන මානයේ තිබුන ඔරලෝසු ලෑල්ල හුඟ දෙනෙකුට අමතක වෙන්න විදිහක් නම් නැහැ.ඔන්න සිද්ධිය උන තැන. සෙනඟ ටිකක් අඩු දවසක් එදා. වෙලාව උදේ 10.00 ට විතර ඇති. ඒත් ඔය ඔරලෝසු ලෑල්ල නිසාම එතන පේව්මන්ට් එකේ තියෙන පටු ඉඩකඩ ගාව සෙනඟ එක් රැස් වෙනව.
අපේ හිතවතත් මොකක්දෝ වැඩකට කොළඹ ආපු ගමන්. ඔය ඔරලෝසු ලෑල්ල ගාවින් යන ගමන් ඔතන තිබුන පුංචි තදබදය නිසාම චුට්ටකට නැවතිලා ඔරලෝසු ලෑල්ල දිහාවට එබුන.
සෙනඟ අතරින් කළු, මිටි, වයස 40ක විතර, පොරක් එක පාරටම අපේ හිතවතාගෙ දිහාවට කඩාගෙන පැන්න. ඒ නිකම්ම නෙමෙයි. වම් ඇහැටත් හොදට දැනෙන්න වම් කන පුරෝල කම්මුල් පහරක් දෙන ගමන්. ඒත් එක්කලම අර කොට පොර, අපේ මෑන්ව බිම පෙරල ගත්ත.සෙනඟ ටික දෙනෙක් එක් රොක් වෙන එක ඉතින් සිරි ලංකාවෙ අනිවාර්යයෙන් වෙන දෙයක්නෙ. "ඇයි මේ මට ගන්නෙ....?" කියල අහන්නත් ඉස්සර බෝ ගහ ලඟ හිටපු පොලිස් රාළහාමිල දෙන්නෙකුත් එතනට ආව.
"මේක ලෑල්ලෙන් එකක් ඉස්සුව සර්........"
එහෙම කියාගෙනම කළු කොට මෑන් අපේ මෑන්ගෙ කලිසමේ සාක්කුවකට අත දාල වටින කියන ඔරලෝසුවක් සාක්කුවෙන් එලියට අරගෙන..... ඒ ඔරලෝසුව තමන්ගෙ සාක්කුවට දැම්මෙ, කනේ පාර දීල බිම දාගත්ත වෙලාවෙ අර කළු කොට මෑන්ම තමයි කියල අපේ මෑන්ට තේරුනත් පොලිසියෙ රාලහාමිල ඉස්සරහ මේ වෙනදේ කොහොම තේරුම් කරන්නද කියල අපේ මෑන්ට වැටහීමක් නැතුව ගිහින්. අනික දීපු කනේ පාරත් උන් හිටි තැන් අමතකවෙන්නම වැදිල.
"මම ඔරලෝසුව ගත්තෙ නැහැ, මගෙ කනට ගහන ගහල බිම පෙරලගන්න වෙලාවෙ තමයි මගෙ කලිසමේ සාක්කුවට ඔය ඔරලෝසුව දැම්මෙ" කියල අර පොලිසියෙ රාළහාමිලට පුලුවන් හැම විදිහටම තේරුම් කරල දුන්නත් පොලිසියෙ රාළහාමිල දෙන්න ඒක පිලිඅරගෙනම නැහැ.
"එක්කෝ පොලිසි යමු, එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට කීයක් හරි දීල මේක ගොඩින් බේර ගන්න" පොලිස් රාළහාමිල දෙන්නගෙම පිළිතුර ඒක. පොලිස් රාළහාමිල දෙන්නගෙ හැසිරීමෙන් මේ "ඔරලෝසු සහ කලිසම් සාක්කු" සෙල්ලම ඒ අය දන්න සෙල්ලමක් කියල සැක හිතුන නිසාම ඒ අයගෙ නිල ඇඳුමෙ තියෙන අංකයන් දිහා බැලුවත් ඒවා පපුවට තද උන ලොකු ඩයරි වලින් වැහිල.
පොඩි හරි සහනයක් බලාපොරොත්තුවෙන් අතේ තිබුන ජංගම දුරකතනයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කතා කලත් පිළිතුර උනේ "පොලිසියෙ දෙන්නෙක් ඉන්නවනම් ඒ අය එක්ක පොලිසියට ගිහින් විසඳා ගන්න" කියලයි.
ඒකෙන් වෙන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනවාටත් වඩා වැඩි දෙයක් කියල අපේ මෑන් තේරුම් අරගෙන ඉවරයි ඒ වෙනකොටත්.
රාළහාමිල දෙන්න කතා කරල තියෙන්නෙම අර ඔරලෝසු වෙලෙන්දන්ගෙ පැත්තට. අන්තිමට කොහොම හරි ගෙදර එන්න රුපියල් පනහක් තියාගෙන පර්ස් එකම හූරල හූරල රුපියල් හත්සිය ගානක් අර කළු මිටි පොරට දීල. අන්තිමට අපේ මෑන් එතනින් පිටත් වෙලා ගෙදර එන්න පිටත් උනා.
"හවස් වෙලා ගෙදර එනකොටත් කන හෝ.... ගානව. ඒ මදිවට මූනෙ වම් පැත්ත ඉදිමිලා තිබුන. වම් ඇහැත් රතු වෙලා තිබුන"මේ සිද්ධියෙ අවසන් ප්‍රතිඵලය ගැන අපේ තාත්තට කියල තිබුනෙ එහෙම.
පේව්මන්ට් එකේ හෝ වේවා වෙන කොහෙදි හෝ වේවා ජඩ වැඩ වෙනව තමයි. ඒව නවත්තන්නත් ඔන තමයි. ඒත් ඒවට පොලිස් නිලධාරීනුත් සම්බන්ධනම්..........
වැදගත් -
( යහපත් කල් ක්‍රියාවෙන් අවංකව රටට ජනතාවට සේවය කරන පොලිස් නිලධාරී මහතුනි, මේ චෝදනාව ඔබට නොවේ.)