
- සල්ලියි නම්බුවයි උපතින් හිමිවීලා
ඇත දැන් අඩු බලය විතරයි සිහි වීලා
ලඟ එන සමූපයෙ ඡන්දය ඉල්ලාලා
"බලනව බලය කොහොමද ?" මුට්ටිය දාලා
- කාරක සභා කට්ටිය හමු වී මෙහෙම
කියනව "උපරිමෙන් කරනව ආවහම"
කොහොමින් කොහොම හරි ඡන්දෙන් ගෙන දිනුම
පුටුව හිමි උනා සමිතියෙ මහ තැනම
- ඉඳගෙන හිටිය ටික දවසක් මෙහෙම්මම
හැඟෙනව "අනේ ගැම්මක් නැහැ මට කිසිම"
හිත හිත ඉන්න කොට ටික දවසක් මෙහෙම
පුන්චි ඡන්දෙ ගැන කසු කුසු හැම තැනම
- "ප්‍රාදේශිකේ පැන ගත්තොත් ගොඩම තමයි
පුංචි පහේ වැඩ ටිකකුත් ගමට කෙරෙයි
මෙහෙම ඉන්නවට වැඩියෙන් ඒක හොඳයි
ලොක්කා හමුවෙලා කිව්වොත් වැඩේ කෙරෙයි"
- "පලාත් සභාවේ ලොක්කත් මට කැමතියි
නොමිනේෂන් ෂුවර් මම දැන් ගොඩම තමයි
පටන් ගනිමු වැඩ ටික අද හෙටම ළමයි
මගෙ මේ උත්ත්සහය ගම වෙනුවෙන්ම තමයි"
- බැනර් ගහල ගම හැම තැන සරසනවා
පෝස්ටර් වලින් තාප්ප වනසනවා
තැන තැන පුංචි රැස්වීමක් අමතනවා
ගෙන් ගෙට ගොහින් "දෙන්නකො මට" පවසනවා
- පොඩි පොඩි සිද්දි සිදු වූවත් ගම මැද්දේ
ලොකු ලොකු ආරවුල් නැහැ මේ පොඩි ඡන්දේ
ගමේ හැමෝගෙම සහයෝගය මැද්දේ
ඇහෙනව හැමතැනම අත්පොලසන් සද්දේ
- ඔන්න ඉතින් පොඩි ඡන්දෙන් ගොඩ යනවා
පොඩි ගතියක් ඇතිව පුටුවක ඇල වෙනවා
ඡන්දෙට ගිය මුදල් ගැන හිත කකියනවා
"ප්‍රතිපාදන මුදල්" ගැන දැන් ඇහැ යනවා
- "බෝක්කුව හදමු ගානක් තියාගෙන"
"පාරට තාර දාමුකො දී මගෙ ගාන"
"කුණු ටෙන්ඩරේ උඹ ඇදපන් හැමදාම
හැබැයි බං රජෝ අමතක නොකර මම"
- "ලොකු පුටු වල ඈයො මෙහෙමද ගහ ගන්නේ
වැවකින් දිය දෝතක්නෙ අයියෝ මම ගන්නේ
මීයක් කඩා අත ලෙව කා පල නැහැනේ"
මෙහෙම හිත හිතා යහමින් ගහ ගත්නේ
- ඔන්න ඔහොම කාලය ගතවී යනවා
ගහ ගත්තා උනත් ගම තුල වැඩ වෙනවා
මේ හින්දාම නම ගම තුල බැබලෙනවා
පළාත් සභා ඡන්දෙත් ලඟ ලඟ එනවා
- "ට්‍රයි කරලා බලමු ලොකු පුටුවක් ගන්න
බැරි වෙන එකක් නැහැ කඩ ඉම පැන ගන්න"
චිට් එක ලැබෙනවා ඡන්දය ඉල්ලන්න
කට්ටිය සෙට් උනා ඡන්දෙන් ගොඩ යන්න
- පොඩි එක වගෙ නෙමෙයි මහ එක ජය ගන්න
ලොකු ලොකු වැඩ ගොඩයි මුදලුත් නැහැ ඔන්න
"මතකනෙ කරපු දේවල් උඹලට ඔන්න
කෙරුවොත් උදවු මම දන්නව සලකන්න"
- බැනර් පෝස්ටර් පලාත බබලනවා
පාට කිහිපයක් සටනට පිවිසෙනවා
මනාප පොරයත් ජයටම සිදු වෙනවා
ලොකු උන් ඉල්ලන්නෙ පොඩි උන් ගුටි කනවා
- ගම විතරක් නෙමෙයි පලාත හොල්ලනවා
මීටින් ගොඩයි ලොක්කත් ඒවට එනවා
මිතුරන්ගේ මුදල් ඡන්දෙට පිච්චෙනවා
ඔන්න ඉතින් ඒ ඡන්දෙත් ගොඩ යනවා
- මන්ත්‍රී තුමා ගැන හැම තැන රැව් දෙනවා
සහය දුන්න හැම සතුටින් ඉපිලෙනවා
කළගුණ සලකන්න වාරය එලඹෙනවා
බැඳගත් බෙරේ තාලයකට හඬ දෙනවා
- පොඩි තැන වගෙ නොවෙයි මේ තැන හරිම බරයි
ප්‍රතිපාදනද, බදු සල්ලිද ජයට ලැබෙයි
යටි මඩි, ජරා, ජඩ වැඩ අඩු වැඩිව කෙරෙයි
හැමගේ උදවුවෙන් ඇදගෙන නාන හැඩයි
- "හන්දියෙ බාර් ප(ර්)මිට් එක මට දෙන්න"
"වැලි ගොඩ දාන්නට මට අවසර දෙන්න"
"අලුතෙන් හදන බිල්ඩිමෙ කඩයක් දෙන්න"
තව වැඩ කෝටියයි කළගුණ සලකන්න
- "පාලම හදමු මට ගානක් තියාගෙන"
"බස් ප(ර්)මිට් එකට කීයද මගෙ ගාන"
"බිල්ඩින් එක ලොකුයි පාසලකට හදන
කොන්ට්‍රැක්ට් එකට ලැබෙනව නොවැ මගෙ ගාන"
- පන්සල පල්ලියට කෝවිල හැම තැනට
මරණෙට මගුලකට විවෘත කෙරුමකට
අවුරුදු උත්ත්සවේ, අර මේ හැම එකට
සල්ලි ඔහොම හෙව්වා ටික කාලෙකට
- දූෂණ, නාස්තිය, වංචා කනින් කොනින්
ඇහෙනව උනත් ගානක් නැහැ ඒත් ඉතින්
"ගෙයක් දොරක් වාහනයක් ගන්න ඉතින්
සල්ලි නැතිව කොහොමද මම ඉන්නෙ තුටින්"
- වසර කිහිපයක් ගෙවුනා මේ ලෙසට
ගම රට දන්න මිනිසෙකි මන්ත්‍රී කමට
පේන්නනම් ලොකු වරදක් නැහැ පිටට
දන්නෝ දනිති කරණා ටික ඔහු රටට
- පා(ර්)ලිමන්ට් එකේ කාලය හරියනවා
විසුරුවා හැරල ඡන්දෙට දින දෙනවා
අපේ උන්නැහෙත් තොල කට ලෙව කනවා
අංකය ලැබෙනවා ඡන්දය ඉල්ලනවා
- හිතවත් ඈයො අත දිග හැර දෙයි සල්ලී
දීලා කියනවා "සලකාපන් මල්ලී"
මරුමුස් බුවාලත් හොඳ හොඳ දන්න කෙළී
කට්ටිය සෙට් වෙලා ඡන්දෙට හරිම ජොලී
- තැන් තැන් වලදි පොඩි පොඩි වලි දාගන්න
කඩු පොලු කිණිසි මදි මේ හැම හසුරන්න
ස්වයංක්‍රීය බඩු තියෙනව ගස්සන්න
ඔය හැම දේම හරි වටිනව ගොඩ යන්න
- මීටින් දිනෙන් දින පලාතෙ හැම තැනම
මඩ ගහනා සේම කයිවාරුත් බොහොම
"එක එක හෙන්චයියො කෑගැහුවත් කොහොම
මම ඉටු කරනවා මගෙ යුතුකම පරම"
- ජර මර අස්සෙ මහ මැතිවරණෙත් අවසන්
ඡන්ද ප්‍රතිඵලෙත් ආවා ඔන්න ඉතින්
සමහර හිත් රිදිල, සමහරු නටති තුටින්
අපේ උන්නැහෙත් දිනනව ඉහට උඩින්
- දැන්නම් වැඩ ගොඩයි බේරිල්ලක් නෑනේ
වාදෙට විවාදෙට කරුණුත් ඕනෑනේ
වාහන ගෙවල් නිල නාමෙට ලැබුනානේ
ඒ හැම අස්සෙ සලකන්නත් ඕනෑනේ
- මරුමුස් බුවාලට ජොබ් එක සෙට් වෙනවා
නෑදෑ හිතවතුන් ජාමෙට ගොඩ යනවා
ඇල්ලූ පන්දමෙන් ලොකු එලියක් එනවා
එහා පැත්තෙ ජීවිත කළුවර වෙනවා
- ඉඳල හිටල රට සවාරි සෙට් වෙනවා
නයිට් ක්ලබ් එකට ඉඳ හිට රිංගනවා
කෑම වගේමයි ජරාව දිරවනවා
බලා ඉදිද්දී ඇඟ පත පිම්බෙනවා
- "ඕ.අයි.සී කවුද මේ පොලිසියෙ ඉන්නා
උදේ ඇල්ලුවද අර අහවල් දෙන්නා ?"
"ඇල්ලුව සර් කසිප්පු සහ උන් දෙන්නා"
"නිදහස් කරනු ! ගන්නෙ නැතුව මල පන්නා"
- මුල් ගල් තියනවා ඒවා පැල වෙනවා
එක දෙක හැදෙනවා ජරාව වෑහෙනවා
එකෙකුට එකෙක් නොදෙවෙනි ලෙස වැඩ දෙනවා
අපේ උන්නැහෙගෙ හොඳ කල එළඹෙනවා
- ඇමති කම් ලැබිල දැන් හරි සරු සාරයි
කොමිස් කුට්ටි වල බර දැන් හරි ඉහලයි
"රටට පෙර තමන්" ආදර්ශය බබලයි
දේශපාලනේ හැටි බන් ඔහොම තමයි
- තියෙනව ලියනවානම් තව කරුණු ගොඩක්
ඒවා නොලිව්වොත් එය මහ හිතට බරක්
එනවා අරන් තව කවි පද පේළි ටිකක්
කංචුගෙ බ්ලොග් එකෙන් හමුවෙමු නැවත වරක්
සටහන:-
අනුපිළිවෙල කොහොම උනත්
කොයි කඩ ඉම මග ඇරුනත්
සිරිලංකාවේ කවුරුත්
දන්න දෙයක් එදත් අදත්
හෙටයි කියල වෙනසක් නෑ
සිද්ධ වේවි හැමදාමත්
වෙනස් උනොත් බැරි වීවත්
කලක් යාවි මේ රටටත්