Thursday, August 26, 2010

දේශපාලනේ හැටි බං ඔහොම තමයි


  1. සල්ලියි නම්බුවයි උපතින් හිමිවීලා
    ඇත දැන් අඩු බලය විතරයි සිහි වීලා
    ලඟ එන සමූපයෙ ඡන්දය ඉල්ලාලා
    "බලනව බලය කොහොමද ?" මුට්ටිය දාලා

  2. කාරක සභා කට්ටිය හමු වී මෙහෙම
    කියනව "උපරිමෙන් කරනව ආවහම"
    කොහොමින් කොහොම හරි ඡන්දෙන් ගෙන දිනුම
    පුටුව හිමි උනා සමිතියෙ මහ තැනම

  3. ඉඳගෙන හිටිය ටික දවසක් මෙහෙම්මම
    හැඟෙනව "අනේ ගැම්මක් නැහැ මට කිසිම"
    හිත හිත ඉන්න කොට ටික දවසක් මෙහෙම
    පුන්චි ඡන්දෙ ගැන කසු කුසු හැම තැනම

  4. "ප්‍රාදේශිකේ පැන ගත්තොත් ගොඩම තමයි
    පුංචි පහේ වැඩ ටිකකුත් ගමට කෙරෙයි
    මෙහෙම ඉන්නවට වැඩියෙන් ඒක හොඳයි
    ලොක්කා හමුවෙලා කිව්වොත් වැඩේ කෙරෙයි"


  5. "පලාත් සභාවේ ලොක්කත් මට කැමතියි
    නොමිනේෂන් ෂුවර් මම දැන් ගොඩම තමයි
    පටන් ගනිමු වැඩ ටික අද හෙටම ළමයි
    මගෙ මේ උත්ත්සහය ගම වෙනුවෙන්ම තමයි"


  6. බැනර් ගහල ගම හැම තැන සරසනවා
    පෝස්ටර් වලින් තාප්ප වනසනවා
    තැන තැන පුංචි රැස්වීමක් අමතනවා
    ගෙන් ගෙට ගොහින් "දෙන්නකො මට" පවසනවා

  7. පොඩි පොඩි සිද්දි සිදු වූවත් ගම මැද්දේ
    ලොකු ලොකු ආරවුල් නැහැ මේ පොඩි ඡන්දේ
    ගමේ හැමෝගෙම සහයෝගය මැද්දේ
    ඇහෙනව හැමතැනම අත්පොලසන් සද්දේ

  8. ඔන්න ඉතින් පොඩි ඡන්දෙන් ගොඩ යනවා
    පොඩි ගතියක් ඇතිව පුටුවක ඇල වෙනවා
    ඡන්දෙට ගිය මුදල් ගැන හිත කකියනවා
    "ප්‍රතිපාදන මුදල්" ගැන දැන් ඇහැ යනවා

  9. "බෝක්කුව හදමු ගානක් තියාගෙන"
    "පාරට තාර දාමුකො දී මගෙ ගාන"
    "කුණු ටෙන්ඩරේ උඹ ඇදපන් හැමදාම
    හැබැයි බං රජෝ අමතක නොකර මම"


  10. "ලොකු පුටු වල ඈයො මෙහෙමද ගහ ගන්නේ
    වැවකින් දිය දෝතක්නෙ අයියෝ මම ගන්නේ
    මීයක් කඩා අත ලෙව කා පල නැහැනේ"

    මෙහෙම හිත හිතා යහමින් ගහ ගත්නේ

  11. ඔන්න ඔහොම කාලය ගතවී යනවා
    ගහ ගත්තා උනත් ගම තුල වැඩ වෙනවා
    මේ හින්දාම නම ගම තුල බැබලෙනවා
    පළාත් සභා ඡන්දෙත් ලඟ ලඟ එනවා

  12. "ට්‍රයි කරලා බලමු ලොකු පුටුවක් ගන්න
    බැරි වෙන එකක් නැහැ කඩ ඉම පැන ගන්න"
    චිට් එක ලැබෙනවා ඡන්දය ඉල්ලන්න
    කට්ටිය සෙට් උනා ඡන්දෙන් ගොඩ යන්න

  13. පොඩි එක වගෙ නෙමෙයි මහ එක ජය ගන්න
    ලොකු ලොකු වැඩ ගොඩයි මුදලුත් නැහැ ඔන්න
    "මතකනෙ කරපු දේවල් උඹලට ඔන්න
    කෙරුවොත් උදවු මම දන්නව සලකන්න"

  14. බැනර් පෝස්ටර් පලාත බබලනවා
    පාට කිහිපයක් සටනට පිවිසෙනවා
    මනාප පොරයත් ජයටම සිදු වෙනවා
    ලොකු උන් ඉල්ලන්නෙ පොඩි උන් ගුටි කනවා

  15. ගම විතරක් නෙමෙයි පලාත හොල්ලනවා
    මීටින් ගොඩයි ලොක්කත් ඒවට එනවා
    මිතුරන්ගේ මුදල් ඡන්දෙට පිච්චෙනවා
    ඔන්න ඉතින් ඒ ඡන්දෙත් ගොඩ යනවා

  16. මන්ත්‍රී තුමා ගැන හැම තැන රැව් දෙනවා
    සහය දුන්න හැම සතුටින් ඉපිලෙනවා
    කළගුණ සලකන්න වාරය එලඹෙනවා
    බැඳගත් බෙරේ තාලයකට හඬ දෙනවා

  17. පොඩි තැන වගෙ නොවෙයි මේ තැන හරිම බරයි
    ප්‍රතිපාදනද, බදු සල්ලිද ජයට ලැබෙයි
    යටි මඩි, ජරා, ජඩ වැඩ අඩු වැඩිව කෙරෙයි
    හැමගේ උදවුවෙන් ඇදගෙන නාන හැඩයි

  18. "හන්දියෙ බාර් ප(ර්)මිට් එක මට දෙන්න"
    "වැලි ගොඩ දාන්නට මට අවසර දෙන්න"
    "අලුතෙන් හදන බිල්ඩිමෙ කඩයක් දෙන්න"
    තව වැඩ කෝටියයි කළගුණ සලකන්න

  19. "පාලම හදමු මට ගානක් තියාගෙන"
    "බස් ප(ර්)මිට් එකට කීයද මගෙ ගාන"
    "බිල්ඩින් එක ලොකුයි පාසලකට හදන
    කොන්ට්‍රැක්ට් එකට ලැබෙනව නොවැ මගෙ ගාන"

  20. පන්සල පල්ලියට කෝවිල හැම තැනට
    මරණෙට මගුලකට විවෘත කෙරුමකට
    අවුරුදු උත්ත්සවේ, අර මේ හැම එකට
    සල්ලි ඔහොම හෙව්වා ටික කාලෙකට

  21. දූෂණ, නාස්තිය, වංචා කනින් කොනින්
    ඇහෙනව උනත් ගානක් නැහැ ඒත් ඉතින්
    "ගෙයක් දොරක් වාහනයක් ගන්න ඉතින්
    සල්ලි නැතිව කොහොමද මම ඉන්නෙ තුටින්"


  22. වසර කිහිපයක් ගෙවුනා මේ ලෙසට
    ගම රට දන්න මිනිසෙකි මන්ත්‍රී කමට
    පේන්නනම් ලොකු වරදක් නැහැ පිටට
    දන්නෝ දනිති කරණා ටික ඔහු රටට

  23. පා(ර්)ලිමන්ට් එකේ කාලය හරියනවා
    විසුරුවා හැරල ඡන්දෙට දින දෙනවා
    අපේ උන්නැහෙත් තොල කට ලෙව කනවා
    අංකය ලැබෙනවා ඡන්දය ඉල්ලනවා

  24. හිතවත් ඈයො අත දිග හැර දෙයි සල්ලී
    දීලා කියනවා "සලකාපන් මල්ලී"
    මරුමුස් බුවාලත් හොඳ හොඳ දන්න කෙළී
    කට්ටිය සෙට් වෙලා ඡන්දෙට හරිම ජොලී

  25. තැන් තැන් වලදි පොඩි පොඩි වලි දාගන්න
    කඩු පොලු කිණිසි මදි මේ හැම හසුරන්න
    ස්වයංක්‍රීය බඩු තියෙනව ගස්සන්න
    ඔය හැම දේම හරි වටිනව ගොඩ යන්න

  26. මීටින් දිනෙන් දින පලාතෙ හැම තැනම
    මඩ ගහනා සේම කයිවාරුත් බොහොම
    "එක එක හෙන්චයියො කෑගැහුවත් කොහොම
    මම ඉටු කරනවා මගෙ යුතුකම පරම"


  27. ජර මර අස්සෙ මහ මැතිවරණෙත් අවසන්
    ඡන්ද ප්‍රතිඵලෙත් ආවා ඔන්න ඉතින්
    සමහර හිත් රිදිල, සමහරු නටති තුටින්
    අපේ උන්නැහෙත් දිනනව ඉහට උඩින්

  28. දැන්නම් වැඩ ගොඩයි බේරිල්ලක් නෑනේ
    වාදෙට විවාදෙට කරුණුත් ඕනෑනේ
    වාහන ගෙවල් නිල නාමෙට ලැබුනානේ
    ඒ හැම අස්සෙ සලකන්නත් ඕනෑනේ

  29. මරුමුස් බුවාලට ජොබ් එක සෙට් වෙනවා
    නෑදෑ හිතවතුන් ජාමෙට ගොඩ යනවා
    ඇල්ලූ පන්දමෙන් ලොකු එලියක් එනවා
    එහා පැත්තෙ ජීවිත කළුවර වෙනවා

  30. ඉඳල හිටල රට සවාරි සෙට් වෙනවා
    නයිට් ක්ලබ් එකට ඉඳ හිට රිංගනවා
    කෑම වගේමයි ජරාව දිරවනවා
    බලා ඉදිද්දී ඇඟ පත පිම්බෙනවා

  31. "ඕ.අයි.සී කවුද මේ පොලිසියෙ ඉන්නා
    උදේ ඇල්ලුවද අර අහවල් දෙන්නා ?"

    "ඇල්ලුව සර් කසිප්පු සහ උන් දෙන්නා"
    "නිදහස් කරනු ! ගන්නෙ නැතුව මල පන්නා"

  32. මුල් ගල් තියනවා ඒවා පැල වෙනවා
    එක දෙක හැදෙනවා ජරාව වෑහෙනවා
    එකෙකුට එකෙක් නොදෙවෙනි ලෙස වැඩ දෙනවා
    අපේ උන්නැහෙගෙ හොඳ කල එළඹෙනවා

  33. ඇමති කම් ලැබිල දැන් හරි සරු සාරයි
    කොමිස් කුට්ටි වල බර දැන් හරි ඉහලයි
    "රටට පෙර තමන්" ආදර්ශය බබලයි
    දේශපාලනේ හැටි බන් ඔහොම තමයි

  34. තියෙනව ලියනවානම් තව කරුණු ගොඩක්
    ඒවා නොලිව්වොත් එය මහ හිතට බරක්
    එනවා අරන් තව කවි පද පේළි ටිකක්
    කංචුගෙ බ්ලොග් එකෙන් හමුවෙමු නැවත වරක්

    සටහන:-
    අනුපිළිවෙල කොහොම උනත්
    කොයි කඩ ඉම මග ඇරුනත්
    සිරිලංකාවේ කවුරුත්
    දන්න දෙයක් එදත් අදත්

    හෙටයි කියල වෙනසක් නෑ
    සිද්ධ වේවි හැමදාමත්
    වෙනස් උනොත් බැරි වීවත්
    කලක් යාවි මේ රටටත්

10 comments:

  1. ටොප් ක්ලාස් කන්චු මල්ලි . . . නියමයි .. . . මෙන්න මගේන් හුරේ පාරක් . . . ඔහොම යං ඔහොම යං . . . !!

    ReplyDelete
  2. එල පද ටික සහෝ ජයවෙවා කිවා...

    දිගුගමනකට මගෙන් ආසිරි...

    ReplyDelete
  3. හුටා.... ඇත්ත නේන්නම් කියලා තියෙන්නේ....
    නියමයි කොල්ලෝ... එළිවැට සමය එහෙම රැකලා නියමම කවි ටිකක් ගොතලා තියෙනවා....
    හැමදාමත් මේ ව‍ගේ එල වැඩ කරන්න මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  4. එලකිරි එලමකිරි කංචු සහෝ...

    ලංකාවේ වර්තමාන තත්වය නියමෙට කවි ටිකකින් කියලා තියනවා.. ගින්දර වගේ කවි ටික..

    සුභ පැතුම්...

    ReplyDelete
  5. කවියෙන් කවිය ඉදිරියටම යනවා...
    ඇත්ත තත්වෙ දැන් දැන් වැටහෙනවා...
    රට කොහෙ ගියත් ගේවට බබලනවා...
    ලනු කෑ අපි ඔබව නැවතත් දිනවනවා...

    ReplyDelete
  6. දුමී
    ඉලංදාරියා
    Jeew
    කැළණිතිස්ස
    priyantha.ඒබී

    ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි........
    වෙලාව තියෙන හැටියට තව ලියනව.....

    ReplyDelete
  7. හැබෑටම මරු කවි පෙල... නිකන් ඉරිදා පත්තරේකට යවලා බලමුද...? ඒ තරන් වටිනවා...

    ReplyDelete
  8. තිස්ස අයියා....
    අදහස හොදයි. ට්‍රයි එකක් දීල බලන්නම්...
    බොහොමත්ම ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට......

    ReplyDelete
  9. අමූලික ඇත්ත කතාවක් නේ කංචු අයියා කියලා තියෙන්නේ :)

    ReplyDelete

Related Posts with Thumbnails