Tuesday, January 10, 2012

ඉඩමක් මිලදී ගැනීමේ සිට නව නිවසක් ඉදි කිරීම දක්වා... (01. හොඳ ඉඩමක් තෝරා ගැනීම)

බොහෝ කාලයක සිට මෙවන් ලිපි පෙලක් ලිවීමට අදහස් කරගෙන හිටිය. තමන්ටම කියල ඉඩමක් මිලදීගෙන ඒ ඉඩමෙ නිවසක් ඉදිකරන්න කී දෙනෙක් නම් බලාගෙන ඉන්නවද. මෙන්න මේ කර්තව්‍ය කිරීමේදී ගොඩදෙනෙක් නොදැනුවත් කම නිසා බොහෝ විට මුදල් නාස්ති කර ගන්නවා.සමහර වෙලාවට තමුන්ට පාඩුවක් උනා කියල දන්නෙවත් නැහැ. සමහරු තමන්ට උන පාඩුව තේරිලා "ඔන්න ඔහෙ ගිය දේ ගියාවෙ" කියල හිතල හිත හදා ගන්නව. හරියට දැනුවත් වෙලා මේ වැඩේට බහිනවනම් පාඩු අවම කරගෙන ඒ ඉතිරි වෙන මුදලත් යොදවල හොඳ නිවසක් හදා ගන්න පුලුවන්.

 ඒ සදහා උපකාරක් විදිහට ලිවීමට අදහස් කරන මේ ලිපි පෙල ප්‍රධාන වශයෙන් මෙන්න මේ විදිහට පෙල ගස්සන්න බලාපොරොත්තු වෙනව.

01. හොඳ ඉඩමක් තෝරාගැනීම.
02. නිවස සදහා සැලසුම ඇඳීම
03. නිවස ගොඩ නැගීම.
04. නිවස අලංකරනය.
05. ගෙවත්ත සකස් කිරීම.

මේ ප්‍රධාන කරුණු 5 තව දුරටත් සවිස්තරාත්මකව අපි ඉදිරියේ සාකච්චා කරමු.

01. හොඳ ඉඩමක් තෝරා ගැනීම.
මේ දවස් වල ඉඩම්නම් ගිනි ගනන්. ඒත් ඉඩම් විකිනෙනව. අපි බලමු හොඳ ඉඩමක් තෝර ගන්නෙ කොහොමද කියල.
I.  රැකියා ස්ථානයට යාමට/ දරුවන්ට පාසලට යාමට/ පහසු ප්‍රදේශයක් වීම.
* අඩුවට හම්බ උනයි කියල තමන්ගෙ රැකියා ස්ථානයෙන් බොහෝ දුර ප්‍රදේශයක ඉඩමක් ගත්තොත්......
( දුර වැඩි කම නිසා රැකියා ස්ථානයට යෑමට ඒමට මාසෙකට රු. 4000 ක් ප්‍රවාහන වියදමක් යනවනම්, මේ වියදම රු.2000 ට අඩු වෙන තැනක ඉඩමක් ගත්තොත් ජීවිත කාලය පුරා ඉතිරිය..... )
* දරුවන්ගෙ ප්‍රවාහන වියදම්/ ආරක්ෂීත ගමන් පහසුව......
* ආසන්නම නගරයට යාමට වෙන වියදම්......
* රාත්‍රී ආරක්ෂීත ගමන් පහසුව........
* සොහොන් ආශ්‍රිත මාර්ග නොමැති පිවිසුම් මාර්ග....
* ඉඩම ආසන්නයටම ඇති පොදු ප්‍රවාහන පහසුකම්. ( ඒ පහසුකම රාත්‍රියටත් පයින්, ආරක්ෂිතව යන්න පුලුවන් සීමාවකටවත් තිබිය යුතුයි නේද.... )
*  මේ අතර හොඳ රෝහලක් අවට තිබීමත් ගොඩක් වැදගත්.
මේ කතා කලේ ඉඩම අවට ප්‍රවාහන පහසුව ගැන තිබිය යුතු පොදු ලක්ෂණ කිහිපයක්.

II. අනෙකුත් යටිතල පහසු කම්
* ස්වභාවික හෝ නල ජල පහසු කම තිබිය යුතුමයි. සමහර ප්‍රදේශ වලට වසරේ සමහර මාස වලට දැඩි පෑවිල්ලක් තියෙනව. ඒ නැතත් සමහර ප්‍රදේශ වලට සමහර කාල වලට භූගත ජලය අඩු වෙනව. මේකත් වට පිට අයගෙන් අහල බලන්න. එහෙම ගැටළුවක් තියෙනවනම් ඒ අය ඇත්තම කියයි. මොකද තියෙන වතුර ටිකත් තවත් අය අතර බෙදෙනවට ඒ අය අකමැති නිසා.
*  විදුලි බලය..... මෙතනදි තමන්ගෙ ඉඩමට විදුලිය ගන්න කීයක් වියදම් කරන්න වෙනවද කියලත් හොයල බලන්න. සමහර විට ලයිට් කණු ගොඩක් තමන්ගෙ වියදමින් දමා ගන්න සිදු වෙන්න පුලුවන්.
*  ඉඩමට පිවිසීමට නීත්‍යාණුකූල  මාර්ගයක් තිබීම.

III.  ස්වභාවික කරදර අවම ප්‍රදේශයක් වීම.
* ගං වතුර තර්ජනය පොදු කරදරයක් වෙලා. "සංවර්ධනයේ තෙතබරිත අතුරුඵලය" තමයි මේ. දැන් දැන් "ගං වතුර" තර්ජනය "ඇල දොල වතුර" , "කාණු වතුර" වගේ පටු ජල මාර්ගත් ආක්‍රමණය කරල. මිලදී ගැනීමට ඉඩමක් බලන්න යනකොට මෙන්න මේකනම් විශේෂයෙන් හොයල බලන්න. වට පිටාවෙ අයගෙන් මේ ගැන අහල බලන්න. අවට සිදු වෙන සංවර්ධනයන් ගැන හොයල බලන්න.ජලය බැස යන මාර්ග අවහිර වෙන විදිහට ගොඩකිරීම් වෙනවනම් මෙතෙක් කල් නොතිබුන වතුර දැමීමක් සිදු වෙන්න පුලුවන්.
* මීළඟට නාය යෑම. විශාල නාය යෑමක්  කෙසේ වෙතත් කුඩා පස් කදු කඩා වැටීම. මොකද සමහර ඉඩම් අවසන් වෙන්නෙ පොඩි පහේ කන්ඩියකින්. සමහර බෑවුම් සහිත ඉඩම් වල මායිමටම කරල ගේ හදපුහාම අල්ලපු ඉඩමෙ අය තමන්ගෙ ඉඩම රහිනව. අන්තිමට නිවසෙ අත්තිවාරම දුර්වල වෙනව.
* වැසි වෙලාවට පමණක් විශාල ජල ප්‍රමාණයක් ඉඩම හරහා ගලා යෑම.
* ගොඩක් අය නොසිතුවට තවත් ස්වභාවික කරදරයක් තමයි දුහුවිල්ල.

IV.  ඉඩම අවට ක්‍රියාකාරකම් නිසා සිදු වෙන කරදර අවම ප්‍රදේශයක් වීම.
    මම මුලින් කියුව ස්වභාවික කරදර අතරින් දුහුවිල්ලනම් ස්වභාවිකව වගේම මිනිස් ක්‍රියාකාරකම් නිසාත් ඇති වෙනව. ශබ්ධ දූෂණය ඉහල තැනක් උනත් කරදරයක්ම තමයි.
  • කලු ගල් කැඩීම.
  • වී මෝල් ආශ්‍රිතව වී කෙටීම, දහයියා පිලිස්සීම.
  • විවෘත රථ ගාල්.
  • ප්‍රධාන මාර්ගයට ආසන්න වීම.
  • ගඩොල්, හුනුගල් පුලුස්සන ප්‍රදේශ ආසන්න වීම.
  • ආදාහනාගාර ආසන්නයේ පිහිටීම.
  • කර්මාන්තශාලා ආසන්නයේ පිහිටීම   : - විෂ ද්‍රව්‍ය බැහැර කිරීම... ඒවා උල්පත්, ජලමූරාශ්‍ර වලට එක් වීම.
  • සේවා ස්ථානයක් (Service Station) ආසන්නයේ පිහිටීම.
  • පරණ පතල් තිබුණු, පතල් ආසන්නයේ පිහිටි ඉඩම් ( ගිලා බැසීමට ඉඩ ඇත ),
  • ගඩොල්, උළු සඳහා පස් ගෙන වසා නොදාපු වලවල් ආසන්නයේ පිහිටි ඉඩම් (මදුරුවන් බෝ කරන මද්‍යස්ථාන )
  • කසල බැහැර ලන ස්ථාන :- High Level පාරෙ නාවින්න පසුකරන ඕනෑම කෙනෙක්ට ඒකෙ වගක් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.
  • ක්‍රීඩා පිටියක් ආසන්න වීමත් කරදර මවන තැනක් වෙන්න පුලුවන්.
V. ස්වභාවික පිහිටීම් නිසා ඉඩමක් නුසුදුසු වීම.
* කිසිම වෙලාවක පුරවාපු ඉඩමක් නිවසක් ඉදිකිරීමට යොදාගන්න එපා. හොඳින් හොයල බලන්න ඉඩම පුරවාපු එකක්ද කියල. මොකද අත්තිවාරමක් (Foundation) දමන්නෙ පිහිටි පොලවෙත් අඩි 1 1\2 ක් වත්  අත්තිවාරම් කානු කැපීමෙන් පසුවයි. ( " පිහිටි පොලවෙත් අඩි 1 1\2 ක් වත් " යන්න පසෙහි ස්වභාවය/ ඉදිකරනු ලබන නිවසේ බර පොළව මත පැතිර යන ආකාරය අනුව වෙනස් වේ. )
* ගල් කුලු සහිතද කියලත් හොයල බලන්න. අත්තිවාරම් කපන්න, අත්තිවාරම් කණු (Columns) සඳහා ගැඹුරු වලවල් කැපීමට, වතුර ගන්න ලිදක් කපන්න, වැසිකිලි වලවල් හාරන්න ගියහම මේක ලොකු ගැටලුවක් වේවි. වියදම් අධික වෙන්නත් පුලුවන්.
* සමහර විට කාලෙකට ඉස්සර කාර්මික අපද්‍රව්‍ය බැහැර කරපු ඉඩමක් නම්..... හොඳට හොයල බලන්න එකත්.     ( උදා :- පුරුද්දට වගේ සමහරු තෙල්, රබර් කිරි, තීන්ත වගේ දේවල් ප්‍රවාහනය කල බවුසර් පිරිසිදු කරල ඉවත් කරන අපද්‍රව්‍ය එකම ඉඩමකට බැහැර කරනව. )
* කිසිම විටෙක පස් පිරවීමක් නැතුව උනත් ගිලාබසින ස්වභාවයේ පස් තියෙන ඉඩම් තියෙනව. හොඳ යකඩ ඉන්නක් අහල පහලින් ඉල්ලගෙන පොළව ටිකක් හාරල බලන්න. මහන්සිය අපතෙ යන්නෙ නැහැ.
* තවත් තැන් තියෙනව වැසි කාලෙට පොලොවෙන් වතුර උනන  දියසීරාව තියෙන. මේ ඉඩම් ඉදි කිරීමකට සුදුසු නැහැ.

VI. සමාජීය වට පිටාව.
*  මේ කාරණය කිසිම ජනමාධ්‍යකින් පැහැදිලි නොකරන දෙයක්. සමහර නගර තියෙනව ඒ නගරෙ රටේ අනිත් අය අතර ජනප්‍රිය වෙලා තියෙන්නෙ පාතාල ලෝකෙ නමගිය අපරාධ කාරයෙක්ගෙ නමක් එක්ක. එහෙම පලාතකට පදිංචියට ගිහින් පස්සෙ පසුතැවිලි වෙන්න සිදුවේවි. සමහර ප්‍රදේශ වල චංඩි වැහි වැහැල. එහෙම නැත්නම් කප්පම් කල්ලි......
"අපෝ මේ පලාතෙ ඉන්න මදාවියොත් එක්ක ගහක ගෙඩියක් තියා ගන්න බැහැ. ගෑණු ළමයෙකුට පාරෙ බැහැල යන්න බැහැ. උන්ගෙ ළමයිනුත් හැදෙන්නෙ ඒ විදිහටම තමයි." අවට ඉන්න අයගෙන් මෙහෙමෙ දෙයක් අහන්න ලැබෙන එකේ අදහස පරම්පරාගත බෝක්කු චංඩි ඉන්න පලාතක් කියන එකනෙ. මොකටද නිකන් සල්ලි දීල ගුටි කන්නෙ.
# ඔන්න ඉතින් ගේ හදන්න ඉස්සර පලාත් පාලන ආයතනයෙ නීති ගැනත් හිතන්න එපායෑ. අද කාලෙ මිලදී ගන්න ඉඩමක ප්‍රමාණය පර්චස් 6, 8, 10, 12, 15, 20 වගේ කුඩා ප්‍රමාණයකට සීමා වෙලා. පලාත් පාලන ආයතනයෙ නීති නිසා මේ ඉඩම තුල ගෙයක් හදන්නත් වෙලා තියෙන්නෙ සීමා සහිත ප්‍රදේශයක. ඒ අතරින් පොදු, ප්‍රධාන නීතියක් තමයි ඉඩමට යාබද මාර්ගයක් වේ නම් නිවස ඉදිකල යුතු වන්නේ එම මාර්ගයේ පළල, පාර මැද සිට ඉඩම තුලට තැබීමෙන් අනතුරුව  වීම. අනික නිවස පිටුපස ඉඩ ප්‍රමාණය මායිමේ සිට අඩි 10ක් වීම.

01.
02. ඉඩමේ හැඩය පහත පරිදි උනොත් වෙනදේ අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

03. එතකොට ඉඩමේ දෙපසකින් මාර්ග පිහිටන විට......
 


ඒ විදිහට බලපුහාම 01 ඡායාරූපයේ ආකාරයේ පිහිටීම තියෙන ඉඩමක් බොහොම හොඳයි.
මේ අපි කතා කලේ ඉඩමක් තෝරා ගන්නෙ කොහොමද කියන කාරනාව ගැන. ඉදිරියේදි අපි මේ ඉඩම නිවසක් තනා ගැනීමට සුදුසු ආකාරයට සකස් කර ගන්න හැටි සාකච්චා කරමු.

15 comments:

  1. Niyama lipiyak.. dhigatama liyanna. suba paethum

    ReplyDelete
  2. Valuable information. Thank you very much

    ReplyDelete
  3. වැදගත් පෝස්ටුවක්.....,

    ඔහොම යං, ඔහොම යං

    ReplyDelete
  4. anith lipi tikath ikmanata liyapan machan...thank u...........

    ReplyDelete
  5. thanks machan uba mewage watina adhas kiya dena eka.

    ReplyDelete
  6. thanks machan uba mewage watina adhas kiya dena eka.

    ReplyDelete
  7. thanks machan uba mewage watina adhas kiya dena eka.

    ReplyDelete
  8. Gayan ayye maxxa wadakne... Sajith malligen suba pathum... digatama karagena yanna...

    ReplyDelete
  9. එලකිරි පෝස්ට් එක කංචු මල්ලී . . . .

    ReplyDelete
  10. කාලෙකින් ලියන්න පටන් අරන් වගෙයි. හොඳයි ලියන එක. ගෙවල් හදන්න හිතන් ඉන්න අපිටත් වැදගත්....

    ReplyDelete
  11. කංචු අයියව කාලෙකින් දැක්කේවත් නැහැ. මේ වගේ වටිනා ලිපි පෙළක් අරගෙන ආපහු ආපු එක හොඳයි

    ReplyDelete
  12. අප විසින් නිපුණතා නමින් මාසික පුවත්පතක් ෙනාමිලෙය් ෙබදාහරිනු ලබයි. ඒහිදී ඉදිකිරීම් සම්බන්ධ ලිපි ප්‍රධාන තැනක් ගනී.
    ඔබ විසින් ෙම් පිළිබද ඉදිරිපත් කරනුලබන ලිපි අප නිපුණතා පුවත්පෙත් පළකිරීමට අවසර ඉල්ලා සිටිමි.
    ඒ් සම්බන්ධව ඔබෙග් අදහස් මාෙවත දන්වා ඒවන ෙමන් කාරුණිකව දන්වා සිටිමි.
    විචිත්‍රා

    ReplyDelete

Related Posts with Thumbnails